Tuesday, December 22, 2009

සමු ගත් පෙම්වතිය


මගේ ජීවිතයට එකම එළිය වූයේ නුඹමය. මනු දම් නොහඳුනනා ලෝකයක මනු දමෙහි අරුම කියා දුන්නේත් නුඹමය. හදවතේ ගඹුරුම තැන දක්වා ගමන් කර කිසිවෙකුට හැඳිනිය නොහැකි වූ මා හඳුනා ගත්තේත් ඔබමය. මගේ දිවියට කඳුළත්, අඳුරත්, පාළුවත්, ඉතිරි කර සැඟව ගියෙත් නුඹමය.

කෙත් වතු අතරින් මීදුම නැගිලා
තුෂාර බිඳු මත හිරු රැස් වැටිලා
දිලිසෙන කොළ පැහැ තණ පත් අතරින්
රුවක් පෙනෙයි නෙතු ඉම ඇඳිලා



සඳ නැති අහසක තනි තරුවක් සේ
නිසල රැයේ අඳුරට මුසු වී
බලා හිඳිනවා වාගෙ දැනෙනවා
තරු නෙතු දල්වා එහා ලොවින්

අඳුරු දිවි ගමන එළිය කරන්නට
දැල්වු පහන රහසෙම නිවුනා
දැල්වී තිබෙනා පහන් ඇතත් අද
මුළු ලොව ගණ අඳුරින් වැසුනා

(1999)

Friday, December 18, 2009

Thursday, September 3, 2009

රතු සඳ මඬල

“පලයන් යන්න . . උඹ අදත් ආව ද?”


‍ජ්‍යෝතිෂවේදියාගේ සහකරු කාන්තාවකට ගෝරනාඩු කරනු දැකීමි. මමත් මගේ මිත්‍රයාත් ගෙදරට හොර රහසෙන්ම මෙහි පැමිණියේ මගේ මිතුරාගේ වුවමනාවටය. කාර්යාලයේ වැඩ කරන කෙල්ලක සමග හාද වී සිටින ඔහුගේ පෙම් පුවත නිවෙස් වලට හොරා දැන් දෙවසකට වඩා කාලයක් දිව ගොස් ඇත. 21 වන සියවසට අප පා තැබුවද අප මනස් තුල මුල් බැස ගත් ඇතම් මිත්‍යාවන් බැහැර කිරීමට අප අසමත් වීමු. චතුරගේ මව්පියන්ට සිදු වී තිබුනේත් එයමය. කෙන්ද්‍ර නොගැලපෙන විවාහයකට ඔවුන් කොහොමටවත් අකැමැති බව චතුරට කියා ඇත්තේ මීට වසර කිහිපයකටම කලිනි. මා සමග චතුර මේ සිද්ධිය විස්තර කලේ සතියකට පමණ පෙරය. හොරෙන්ම පොරොන්දම් ගලපා බලා ගැන්මට මම ඔහුට යෝජනා කලේ හරි කේන්දරය නොගැලපෙන්නේ නම් හොර එකක් හෝ හදා ගැන්මට එවිට ඉඩ ප්‍රස්තාව ඇති නිසාය. ජ්‍යෝතිෂවේදියාගේ කාර්යාලය ඉදිරිපිට සිටි පුටු වල ඉඳගෙන සිටි අපේ මනෝ දැහැන බිඳ වූ සිද්ධිය කුමක්දැයි බලා ගැන්මට පුටුව රත්කරමින් සිටි අපට ඇති වුයේ බලවත් ආශාවකි. කාර්යාලයේ සහකරුවාට හෙමින්ම කිට්ටු කල අපි ඔහුව කතාවකට ඇද ගත්තේ මේ ගැන දැන ගැන්මටය.


"අයියේ මොකද මෙතන අවුල?"
"ආ මහත්තයා, ඒ පිස්සියෙක් නෙ. හැමදාම කෙන්දරයක් උස්සගෙන මෙහෙ එනවා. ඔය ගෑනි මේ කිට්ටුව තනියෙන්මයි ඉන්නේ"
අපි එකිනෙකා දෙස බැලුවෙමු. පිස්සන් ගැන අසා ඇතත් මෙබඳු පිස්සියක ගැන අප ඇසූ පළමු වතාව මෙය විය.
"අයියේ ඔය පිස්සී ඉන්නේ කොහෙද?" චතුර අසුවේ මා පුදුමයට පත් කරමිනි. හෙමින්ම රුපියල් පනහක් කාර්යාල සහකරුගේ අතේ තැබීමට ඔහු වග බලා ගත්තේය.
"ඔය ඉස්සරහ හන්දියෙන් වමට හැරෙන ගුරු පාරේ කොණේම ගේ. මහත්තුරු පත්තරෙන්ද?"


අපි එසේ බව ඔහුට හඟවා පය ඉක්මන් කලේ මගේ මිතුරාගේ වාරය ලඟා වූ බැවිණි. පොරොන්දම් 20 න් පහක් පමණක් ගැලපෙන නිසා ජෝඩුව ගැලපෙන්නේ නැතැයි ජ්‍යෝතිර්වේදියා අපට සැළ කර සිටියේය. චතුරට දහදියද දමා ඇත. පඬුරු දී අපි හෙමින්ම කාර්යාලයෙන් පල්ලම් බැස්සේ මුහුණු හොඳටම නරක් කරගෙනය.


"අනුෂ්ක, අපි මොකද කරන්නේ මචන්?" චතුර ඇසීය.
"වෙන කරන්න දෙයක් නැහැ අරහෙම කරමු"
"කවුද අපිට ඔහොම කෙන්දරයක් හදලා දෙන්නේ?"
"අපි අර පොරගෙන් අහලා බලමු" මම කීවේ ජ්‍යෝතීර්වේදියාගේ සහයකයා පෙන්වමිනි. අපගේ කතාව අස සිටි සහයකයා රැල් බුරුල් හැර කතාව පටන් ගත්තේය.
"ඔය කේන්දර වලට බොරු කරන එක මහ පාප කරුමයක් මහත්තයෝ. මම නම් ඕවට කැමති නැහැ"
"අපි නිකම් නෙමෙයිනෙ කියන්නේ" මම වොලට්ටුව හරිමින් රුපියල් 500 කොළයක් එලියට අදිනට උත්සාහ කරමින් පැවසීමි. දෙවියන්ගේ මල්ලී දුටු විගස අයියාට තිබූ භක්තිය මල්ලීට ඇතිවීම නිසාදෝ ඔහු වට පිට බැලීය. ඔහුගේ ඇස් කෑදර කමින් දිලිසෙන්නට විය.
"මම හොඳ තැනක් සෙට් කරල දෙන්නම්. හැබැයි ඉතින් ගාණ ටිකක් සැරයි" මම රුපියල් 500 ඔහු අතට දී, "එහෙනම් අපිට අඩුවට කරලා දෙන්නකෝ" යයි පැවසීමි. තවත් ජ්‍යෝතිර්වේදියකුගේ නමක් හා ලිපිනයක් දුම් ඔහු, පියසේන එවුවැයි කියා කියන ලෙස අපට උපදෙස්ද ලබා දුන්නේය. අප එතනින් පිටවූයේ මේ ක්‍රියාව කොයි අතට පෙරළේදැයි දෙගිඩියාවෙනි. මේ ක්‍රියාව ආරංචි වූ දාට මට චතුර ගේ ගෙදර පස් පාගන්නට වත් බැරි වනු ඇත.


"අනුශ්ක, අපි අර පිස්සි බලල එමුද?" චතුර ඇසුවේ හදිසියේමය. "මට ඒකෙ හරි අමුත්තක් තේරෙනවා" පත්තර රස්සාවට කවදක් කැමැත්තෙන් සිටි චතුර කුහුල දනවන සිද්ධීන් වෙත ඇදී ගියේ යකඩයක් කාන්දමකට ඇදී යන්නාක් මෙනි.


මිනිත්තු 20ක පමණ පාගමනින් පසුව අපට පෙර කී පිස්සියගේ නිවස හමු විය. පිස්සියක් යයි කීවාට ඇය පිළිවෙලට හැඳ පැලද සිටියාය. නිවෙස පිරිසිදුව තිබුණත් එය ඉතා පැරණි ගොඩනැගිල්ලක් විය. මුදුන් පලයේ 1906 ලෙස සළකුණු කර ඇත. පිස්සියකට කතා කළ යුත්තේ කෙසේදැයි අපි දෙදෙනාම දැන සිටියේ නැත. නමුත් වයස 40ක් පමණ වු හෙයින් ඇයට "අක්කා" ලෙස අමත්න්නට තීරණය කර ගතිමු.


"අක්කේ අපට වතුර එකක් දෙන්නකෝ" චතුර පැවසුවේ නිවසේ ගේට්ටුව ලඟට පමිනෙමිණි. අවිශ්වාසය දනවන් බැල්මකින් අප දෙස බලා සිටි ඈ මොහොතින් නිවස තුල නොපෙනී ගියාය. ඇය නැවත පමිණියේ වතුර වීදුරු දෙකක් රැගෙනය. පැන් කිසෙන් සප්පායම් වූ අප මුහුණු බලා ගත්තේ කතාව කෙලෙස ඇරඹිය යුතු දැයි අපි නොදන්නා බැවිණි.
"අක්කට මොකද අර පියසේන කාරයා සැර කලේ?" මම ඇසීමි. "මල්ලිලාත් කේන්දර බලන්නද? කේන්දර ගැලපෙන්නේ නැත්නම් මල්ලී පැනලා හරි යන්න. මම වගේ වෙන්නේ නැතුව" අප ඉදිරිපිට පුපුරා ගියේ කුමක්දැයි අප දුටුවේ නැත. නමුත් ඒ ප්‍රකාශයෙන් අප ගල් ගැසි ගියේ එලෙසය.


"මොකද්ද අක්කේ ඒ කතාව?" චතුර ඇසීය. "මගේ නම පද්මිණී. දැන් වයස 42 යි. මිනිස්සු නම් කියන්නේ මට පිස්සු කියල. නමුත් මමත් මීට අවුරුදු 16 කට කලින් ඔය විදියටම පොරොන්දම් බලන්න ගියා" මදක් කතාව නැවැත්වු ඇය නිවෙස තුලට ගොස් ඇල්බමයක් රැගෙන ආවාය. එහි වූයේ එකම ඡායා රූපයක් පමණි. තරමක් කඩවසම් වයස 30ක් පමණ වූ තරුණයකුගෙ රුව එහි විය.


"මේ ගිහාන්. අවුරුදු 16 කට ඉස්සර. මට ඒ දවස හොඳට මතකයි. එදා පූර්ණ ඡන්ද්‍රග්‍රහණයක් තිබුනා. අපි රතු පාට හඳ යට ඉඳගෙන අපේ අනාගතේ ගැන කතා කළා. හඳ රතුපාට උනේ ඇයි කියල මට තාම තේරෙන්නේ නැහැ. එද තමයි අපේ ගෙදරින් කිවුවේ කෙන්දර ගැලපෙන්නේ නැති හින්දා බන්දින්න දෙන්නේ නැහැ කිඅයල්. මම ගෙදරට හරිම කීකරුව හිටි කෙනෙක්. නමුත් මට ගිහාන් නැතුවම බැරි උනා. නමුත් අපේ ගෙදරින් කැමති උනෙ නැහැ" සිහින් ලෙස ඉකි ගසමින් පද්මිණි හඬන්නට පටන් ගත්තාය. වැයමෙන් කඳුලු පිස ගත් ඇය, "මම මල්ලිලාට තේ එකක් ගේන්නම්" කියා නිවෙසට වැදුණාය.


උණු තේ එකක් බොමින් අප දෙකන් අයා සිටියේ ඇගේ කතාවටය.
"ගිහාන් එක්ක පැනලා යන්න මම කැමති උනේ නැහැ. මට එතකොට රස්සවක් තිබුණා. ගිහාන්ටත් එහෙමයි. පැනලා ගිහින් අපට සතුටින් ඉන්න තිබුණා. ඒත් අම්මලා ගැන හිතලා මම එහෙම කලේ නැහැ. කවුරුහරි කේන්දර කාරයෙක් ලව්වා මේ කේන්දර දෙක ගැලපෙනව කියල කියව ගන්නයි මට වුවමනා කළේ. එද ඉඳන් අවුරුදු 16ක් තිස්සේ මම මුළු රටේම කෙන්දර කාරයෝ ගාවට අපේ කෙන්දර කොපි අරගෙන යනවා ඒවා ගැලපෙනවද බලන්න. හැම තැනින්ම කියන්නේ ගැලපෙන්නේ නැහැ කියල. සමහරු මාව එලව ගනන්වා. ඒත් මම කොහොම හරි මේක කරනවා. එදා හඳේ ගෑවිලා තිබුනේ අපේ පපුවල ඇනිච්ච කටු වලින් ආපු ලේ ද මන්ද කියලත් මට හිතෙනවා.”


"දැන් ගිහාන් කොහෙද ඉන්නෙ?" චතුර ඇසීය. "එයත් බැඳලා නැත්ද?"
"එයා කවදාවත් බඳින එකක් නැහැ. එයා එ දැන් නම රත්ගම විජිතවිමල."
"මහණ වෙලා?" මම ඇසීමි.
"හ්ම්ම්" පද්මිණි අක්කා හිස සැලීය.
“මල්ලිලා හිතන්නෙත් මට පිස්සු කියලද?"
අපි මුහුණට මුහුණ බලා ගතිමු.
"නැහැ, අපි එහෙම හිතන්නේ නැහැ. අක්කේ අපි යනවා. අපට බණ්ඩාරගමටම යන්න තියෙනවනෙ." අපි පද්මිණි අක්කාගෙන් සමු ගත්තෙමු.


"මචන් ඒක මාර කතාවක්" චතුර කතා කලේ අපි පිටකොටුවෙන් බසයට නැගි බොරලැස්ගමුවත් පසු කළ විටය."මට ඒ කතාව බොක්කට වැදුණා"
මට කළ හැකි වූයේ හිස සැලීම පමණි. මගේ හිතත් හිරි වැටී ගොස් තිබිණි.
"අපි කොහොම හරි අළුත් කේන්දරයක් හදමු". චතුර කීවේ බණ්ඩාරගමින් බැසීමෙන් පසුවය. මම ඔහුට සුබ පතා අඟුරුවාතොට බසයට නැගුනේ අන්තිම බසය ගැන වැඩි විශ්වාසයක් තැබිය නොහැකි නිසාය. නැත්නම් මට චතුරගේ ගෙදර ගොස් යන්නට ඉඩ තිබිණි. සවස් යාමයේ ගෙදර ගිය විට එදා පෝය දිනයක් බව සිහි වූයේ ගෙදර කිට්ටුව තිබු පන්සලේ බුද්ධ පූජාවට ඝන්ඨාරය ගසනු ඇසීමෙනි.


"මාමා දන්නවද? අද හඳට මොකක්ද වෙනවලු" කුඩා නිම්මි පැමින මගේ ඇඟේ එල්ලුණාය. "අපි එලියට යමු"
"අන්න බලන්න හඳේ පාට!" නිම්මි පැවසු දෙසට මම නෙත් යොමු කළෙමි.
"දෙයියෝ සාක්කි!" මට කියැවිනි. ලේ පාටින් සඳ මඬල වැසී ඇත. පුර සඳේ ආලෝකය කිසි තැනක නොවීය.
"චතුර!"

Friday, August 21, 2009

සඳ මඬල

සඳ මඬල
බලා සිටි
නුඹ මා එක්ව සවුදිය පිරූ
පතුරලා ගී නද
වපුරලා සිනා කැල්මන්

සඳ මඬල
බලා සිටි
ඇගේ අත ගෙන සිප ගත්
ඔලිඳ ගස් හෙවණේ
පෙමින් බැඳි

සඳ මඩල
බලා සිටි
වෙන්ව යනු අපි සැම
ජීවිතේ දොරටු
විවර කර ගෙන

සඳ මඩල
නැත නුඹ අද
තනිව සිටිනා
මේ යාමයේ
මගේ තනියට

Thursday, July 2, 2009

වසන්තය ඇවිදින් ගියා

සුහදිනියනි නැතිදෝ දන්නේ
වසන්තය ඇවිදින් ගියා
මල් යාය බමර ගුමුවෙන් වසා
වසන්තය ඇවිදින් ගියා


ලෙන්ගතු තෙපුලින් ළංව සිටි නිසා
කොවුල් කැල යනු නොදිටිමු
පිපුණු මල් වල නටු පමණි අද
වසන්තය ඇවිදින් ගියා


ශිල්ප පිරුවට ගතෙහි දවටා
කාසි පොදි ලුහුබැඳි සමේ
සොඳුරු තෝතැනි වියළිලා ඇත
වසන්තය ඇවිදින් ගියා


නුරාවේ මල් පරවෙලා ඇත
සෙනෙහසේ අඩුවක් නැතත්
කාලයේ වැලි තලා මතුයෙහි
වසන්තය ඇවිදින් ගියා

Saturday, June 13, 2009

මතක සුවඳ

සඳ නිහඬ තරු නිහඬ රැහැයියන් නිදි කිරන
මැදියමේ සීතලෙන් මේ පාලු කුටිය තුළ
සිහිනයේ සිත්තම්ව ඇස් පියන් මතට එන
රෑ යමේ තුන් යමේ කඩුපුලේ සුවඳ සේ
සිහිනයේ ගල්වලා ඒ සුවඳ තව දැනේ
කුරු බිලිය තුළින් විත් හොර රහසෙ සිත් ඉමට
සැතපෙන්න සයනයෙහි සිතුවිලින් අතුළ විට
හෙට උදේ හිරු නැගී කොඳ කැකුළු පරව යයි
සිහිනයේ සරමින් ම දෙන්න මට තුටුවන්න
පෙණ දමන මධුවිතක ගල්වලා සිතට එන
මතකයන් සමුදාය වියළිලා ගියත් අද
දිගු නිහඬ කල් ගෙවා කතරකට වසින ලෙස
අමතකවු මතකයක් සිත් ඉමට පැමිණ ඇත

රතු රෝස

රතු රෝස දියවී බිම වැටී
හිරු සඳු ද සැඟවී අඳුරු වී
කළු මේඝ තිරයෙන් නුබ වැසී
වැසි ඒවි වේගෙන් ඇදී


ඇස ගාව පිපිලා රත් කුසුම්
හද ගාව රැඳිලා සුවඳකින්
සිටි කාලෙ කිමදෝ නිම වුණේ
මල් නටුව පඳුරෙන් මිදේ


මතු ඈත දවසක අප යළිත්
හමු වේවි නැවතත් අහඹුවෙන්
පරවූ අපේ ඒ පෙම් කුසුම්
සැනසේවි නටඹුන් බලා

Tuesday, June 2, 2009

කඳුළු බින්දුව

මෙන්න කඳුළු බින්දුවක් . . .
මොන ඇහැකින් වැටුන ද?
සිංහල ද, දෙමළ ද, නැත්නම් මුස්ලිම් ද?
හිත පාරා රිදුම් දෙද්දි
හඬනා ඇසකින් වැටුන ද මන්දා . . .
පැතූ පැතුම් සඵල වෙලා
සිනා වෙද්දි සිත පුරවන්
සතුටට වැටුණ ද මන්දා . . .
යුද්දෙට ගිය සිය සැමියා
සීල් කරපු පෙට්ටියකින්
ගෙදරට ගේනා වෙලාවෙ
ඇගේ ඇසින් වැටුණ ද මන්දා . . .
සල්ලි ගරන උපායකට
අනුන්ගෙ දුක උකස් කරන
ඩොලර් කාක්කෙකුගෙ ඇසින්
කිඹුල් කඳුළු බිඳු විලසට
වැටුණද මන්දා . . .

Sunday, May 24, 2009

වවුල්ලු

එල්ලිලා අතු අගෙක
පාද ඇත උඩ අතට
හිස බිමට වූ බැවින
මොළය ඇත හිස තුළම . . . !
රැහැන් අතරෙහි වැදී
මියෙන මුත් සැර වැදී
නොදනිමු ය අප වරද
පය ගසනු තැන් නොහී . . .
උඩු වියන් පාවඩය
කොන්ක්‍රීට් මුතු කුඩය
අතර පියඹා යමු ද
සොයා අර සඳ මඬල . . .
දිවා කල ගස් සෙවණ
රෑ කලෙහි සඳ එළිය
දුටුවෙමු අඳුරෙහි එළිය
නොදැක එළියෙහි අඳුර . . !

නුඹට

නිමල දිය දහර වන් සෙනෙහස සිතේ දරා
කොමල තෙපුල වත නිලුපුල ඇඳේ නුරා
එමල නෙලිමි කටු නැත නටු අගෙහි පුරා
අමිල තිලිණයක සොඳුරිය සඳයි සරා


සොඳුරු සිහිනයකි ගෙවෙනා කල දවස
පඳුරු ලලා වැවෙනා සෙනෙයෙහි නිවස
අඳුරු සෙවණැලිත් පලවා හැර සවස
කඳුරු දිය සොයමු නිවනට පෙම් පවස


ලවන් මතෙහි ගලනා ඒ කඳුළු කැට
පවන් සලා පිස ලන්නෙමි දිනෙක හෙට
සවන් පුරා දොඩනා බස් ගැටෙන විට
ගුවන් ගැබට පියඹන්නට හිතයි මට

Wednesday, May 20, 2009

අප

සඳ පහන සේ දිලී හිනැහියන්
මහ වැස්ස ඇද හැලී ගිය සැණින්
කොවුල් නද වී ගීත ගයාපන්
සැඩ සුළඟ නිසල වී ගිය සැණින්


සඳ හිරු තරු කැට නොපෙනෙන වන ගැබ
සිටියාට නොදැණුනා පාළුවක්
ඔබත් මා ළංව ඇති කටුක වූ මනු පුරේ
සොයමි හුරු පුරුදු වූ මාවතක්


ඇළ දොල පාමුල ගැයෙනා කවියකි
අප හද මල් තුල රැඳෙනා සෙනෙහස
කුණාටු සුළඟට මොර ගෙඩි වැස්සට
දිය කළ හැකි වෙද හද රැඳි එ සුවඳ

වසන්තය ගියා . . . ඒත් . . .

අඩ සඳ හිනැහලා අප දෙස හොරැහින් බැලුවා
තණ පත් ලපළු තුරු සුළඟට නැළැවෙනවා
රෝස මල් පෙති මතින් පිණි බිඳු විසිරෙනවා
ඒත් නගේ ටිකකින් හිරු පායනවා


බටිති මලිති රස ගීයෙන් ඔද වැඩුණු
අමතක කරයි ගත සිත දාහෙන් මැඩුණු
ඒ ගී අතර සරමින් සෙනෙහෙන් බැඳුණු
දැහැන බිඳුණි වාහනයෙන් දුම් දැමුණු


ලස්සන මල් බලා දෙන්නට ලං වී හාදු
බමරුන් කර ගනී උන් හට අරියාදු
මලට ලංව බැලු විට නුවණැස පෑදූ
මල කඳුලැස්ස අමතක කරපන් හාදු


වසත් සමය කාලය වෙයි හරි අගනා
සමහර විටෙක වැසි වැස පොළොවම තෙමනා
ඉක්ම ගිය සමය ගැන දැන් සිත නොතවා
ගිම්හානය ඇවිත් දොර අබියස හිඳියි බලා

සඳවත

සඳවත පවා වැසිලා ඇත දූවිල්ලෙන්
හදවත නමුදු නැලැවී යයි ඕවිල්ලෙන්
සවනත වැටෙන කුරවී ගී වැලැපිල්ලෙන්
පදරුත් සොයමි ඔබ කඳුලැලි ගඟුලැල්ලෙන්

කාලය

හිරු සඳුට හොර රහසෙ බැන්ද පෙම් දම් පරවී
තරු කැකුලු කොඳ කැකුලු විලසින්ම බිම වැටී
අතීතයෙ එක් දිනෙක තුරුලු වී සිනාසී
ලී බංකු පොතු හැලෙයි සැඩ කිරණ වදිද්දී


මල් උයනෙ තෝතැන්නෙ පොඩි මාලු මියදිලා
නිල් නෙළුම් කෙකටියා ගිල ගත්තු බෙරෙලියා
උයන්තෙර තුරු ගොමුවෙ කුරුළු ගී වියකිලා
නුඹත් මා යන දෙදෙන වෙන්ව ගිය දුක නිසා

Monday, May 11, 2009

මල්

හරි උසින් නුඹ පිපී
නෙළන්නට බැරි බැවින
ලස්සනයි නුඹ ඉතින
නෙලූ මල් පරදවන
නෙළන්නට බැරි නිසා
පර නොවෙයි විගසකින
නෙලූ මල් වාගේ
දමා ඇති බඳුනේ
නෙලූ මල් සැමදාම
සිතේ පිපිලා රුවට
නෙලාගත් දෑත හිමි
පර නොවෙයි කිසි දිනෙක
වනේ පිපි මල් ලෙසින

බිරීම

හඳට බුරන බල්ලෝ
හොරුන්ටත් බුරනවා

කඩුව සහ පෑන

“මම කපන්නෙ බොටුව”
කෑ ගායි කඩුවක්
“මම කපන්නෙ ආත්මය”
සෙමෙන් කීය
පෑනක් . . .

අයිතිය

බොහො එළිය හිරු සඳුට
වගෙම අහස අයිතියි
පුංචි තරු කැට වලට

ගංවතුර

මහ වැස්ස වැස්සාම
උතුරලා ගලා යන
කාටවත් වැඩක් නැති
ලොකුම ලොකු
වතුර කඳ

වෙනස

පොල් කොළේ
තල් කොළේ
ඉරටු හැඳිනිය හැකිය
තල් අළුත්
පොල් අළුත්
කෙලෙස හැඳිනිය හැකි ද?

Monday, April 13, 2009

චීන ඌරා

“පෝලිම් පනින්නේ නැතුව ඉවසලා ඉන්නවා” ඇමතිතුමා ගේ ආරක්ෂකයා රැකියා බලාපොරොත්තුවෙන් පැමිණි පිරිසට කෑ ගැසීය. ”ගන්නෙ එක්කෙනානෙ”
සාලින්ද සිටියේ පෝලිමේ විසි වැනියාට ය. වේලාව එකොළහ ද පසු වී ඇත. සම්මුබ පරීක්ෂණය පටන් ගන්නා බැව් කියා තිබුණේ අටයි තිහට වුවත් ඇමැතිතුමා ඇතුළු පිරිස පැමිණයේ මොහොතකට කලිනි.
“හරි . . . පළමුවෙනියා ඇතුළට එනව” දොරටුව අසළින් විධානයක් නිකුත් කෙරිණ. පළමුවැනියා ඇතුළු විය.

සංස්කෘතික හා කලා කටයුතු පිළිබඳ ඇමතිතුමා ගේ උපදේශකයකු ගේ තනතුරට පත් කරගැනීමට අයැදුම් පත් කැඳවා තිබූ දැන්වීම සාලින්ද දුටුවේ සතියකට පෙරය. කලා උපාධිධරයකු වූ සාලින්ද සිරිපුර සිට පැමිණයේ රැකියාවක් සඳහා වූ අවසාන බලාපොරොත්තුවත් සමග ය. මෙවර රැකියාවක් නොලැබුණොත් තම මිය ගිය පියා විසින් කරන ලද සිල්ලර කඩය නැවත පටන් ගැනීමට ඔහු අදහස් කරගෙන තිබිණි.

 “මේ මිනිහා විනාශ වෙන්න යනවා” ගෝර්කි කීය. “මිනිහා යන්නේ අන්තිම නරක තැනකට,  ම් . . . බලමු . . . අන්තිම නරක තැනකට”
“අපි මිනිහට අවස්ථාවක් දෙමු” මෙවර කීවේ ශේක්ස්පියර් ය. “මේ වගේ මිනිස්සු තමයි ඉතිහාසය වෙනස් කරන්නෙ”
“අනික් කට්ටිය මොකද කියන්නෙ?” ඔහු නැවත ඇසීය.
“අවස්ථාවක් දෙමු” එක් හඬින් ඔවුහු කියා සිටියහ.
“මේ මිනිහා තෝරාගත් කීප දෙනාගෙන් අයෙක්. ඔහු නරකට යොමු නොකර තියා ගැනීම වැදගත්” ගෝර්කි ලෙස හඳුන්වා ගත් මිනිසා නැවත කීය.

පස්වරු එකට පමණ සාලින්ද ගේ වාරය උදා විණ.
“ඇතුළට එනවා” නැවත විධානය ලැබිණ.
“නම” සුදු ඇඳුමක් ඇඳ සිටි ඇමති තුමා ඇසීය.
“සාලින්ද අරුක්ගොඩ . . . සර්” අවසනට ආ “සර්” කෑල්ල එක් වූයේ රැකියාව ලබා ගැන්මට තිබූ තද වුවමනාව නිසාය. 
“ආ . . . ඉඳ ගන්නව”
“වයස”
“තිස් එකයි සර්” මෙවර අපහසුවකින් තොරව “සර්“ පදය පිට විණ.
“බැඳල ද?”
“නැහැ. රස්සාවක් ලැබුණොත් බඳින්න ඉන්නෙ . . . සර් . . .”
“පුහ් . . හහ් . . හහ් . . හා . . . .” බඩ මහත ඇමතිතුමා හිනා වෙන්නට පටන් ගති. “තමුසෙ ගොනෙක් ඕයි . . . බැඳලා ඉවර වෙලා ජීවිතේ ගැන හිතනවා” සාලින්දට මතක් වූයේ හිනාවිය හැකි ලොකු චීන ඌරෙකි.
“මොනවද සුදුසුකම්” සම්පූර්ණ බටහිර ඇඳුමෙන් සැරසී සිටි වැදගත් පෙනුමැති පුද්ගලයෙක් ප්රකශ්න කළේය.
“සර්, කලා අංශයේ ගෞරව උපාධියක් තියෙනවා. ඉංග්‍රීසි ඩිප්ලෝමාවක් තියෙනවා”
“පුහ් . . හහ් . . හහ් . . හා . . . .” ඇමැතිතුමා නැවත සිනාසිණි. “වෙන රස්සාවකට නං ඔය උපාධිය තුට්ටු දෙකේ එකක්. ඒවුනාට ඉංග්‍රීසි ඩිප්ලෝමාවට සලකන්න වෙනවා”
“වල් බල්ලා . . .” සාලින්ද සිතීය. “තොපි වගේ එවුන් තමයි කලා උපාධිධාරීන් මේ තත්ත්වෙට ගෙනාවෙ”
“ගම කොහෙද, මිස්ට අරුක්ගොඩ” වැදගත් පෙනුමැති පුද්ගලයා නැවත ඇසීය.
“සිරිපුර සර්, පොළොන්නරුවයි, දෙහි අත්තකණ්ඩියයි අතර” 
“පට්ට කැලේ නෙ ඕයි . . . පුහ් . . හහ් . . හහ් . . හා . . . .” චීන ඌරා නැවතත් සිනාසිණි.
“යකෝ මුගෙ ගම ඔක්කම්පිටියෙ ඉඳලත් හැත්ප්ම විසිපහක් දුර. මූ හිතන්නෙ නිකං කුරුඳුවත්තෙන් බැස්සා කියල” සාලින්ද ගේ සිත තුළ අදහස් පුපුරයි.
“මිස්ට අරුක්ගොඩ. සුබ පැතුම්. අපි ඔයාව තෝර ගත්තා. මේ කොළය අරන් ගිහින් ගණකාධිකාරීතුමාව හම්බ වෙන්න”
සාලින්ද ගේ සතුට හිස් මුදුනින් පිට විය. රුපියල් හත් දහසක ඇඳුම් දීමනාවක් ද ලැබී තිබේ. ඇමතිතුමා ළඟ වැඩ කරන විට ජැන්ඩියට ඇඳිය යුතු බව එතුමාගේ ලේකම් විසින් පැහැදිලි කර දෙන ලදී. දැන් ලෙඩින් ඉන්න අම්මාගේ බෙහෙත් වියදමින් කොටසක් දැරිය හැක. ගාමන්ට් එකේ වැඩ කරන නංගී ට දැන් ඇයටම කියා මුදලක් ඉතිරි කරගත හැකි වනු ඇත.

“ජීවිතේ අමාරුකම් ඉදිරිපිට මිනිස්සු තම හෘදය සාක්ෂිය පාවා දෙන්න වුනත් සූදානම් වෙනවා.“ ගෝර්කි කීය. “අපේ මිනිහා වාණිජත්වය ලිස්සන පල්ලමට වැටිලා ඉවරයි. ගොඩ එන එකක් නැහැ වගේ”
“උත්සාහ කරමු, තවමත් ඔහුගේ සිතේ මේ ක්‍රමයට විරුද්ධව විරෝධාකල්පයන් දැල්වෙනව. දවසක් ඒවා පුපුරලා එළියට ඒවි” බුල්ගාකොව් කීය.
“ඔක්කකොමලා බුල්ගාකොව්ලා නෙවෙයි.“ ශෙක්ස්පියර් කීය. “මෙතැනට එන්න නම් අපේ මිනිහට ගොඩක් අමාරු වේවි”
“මම කියන්නේ අපි තව ටිකක් ඉවසමු කියල“

සාලින්ද ගේ වැඩ එතරම් අපහසු නොවිණ. ඇත්තට ම ඔහු එම තනතුරට දක්ෂ වැඩි බව ඇමතිතුමා ද පිළිගත්තේය. විවිධ සංස්කෘතික උළෙල වල කරන්නා වූ කථා සැකසීම සාලින්ද ට භාර වූ ප්‍රධාන ම වැඩ කොටස විය. ඔහුට ඇමතිතුමා හමු වූයේ ඉඳහිට ය. නමුත් සාලින්ද අතින් පිළියෙළ වූ කථා ඉස්තරම් ම තත්ත්වයේ ඒවා විය. සහෝදර ඇමතිතුමන් ලා අන්දමන්ද ව යන සුළු කථා ඔහු විසින් ඉදිරිපත් කරන ලදී. අනෙක් ඇමති වරුන්ගේ නොමද ඊර්ෂ්‍යාවට ද ඔහු ලක් විය.
“ගුණේ, මාර වැඩ කාරයෙක් උඹ අරන් තියෙනවානෙ, කලා කාරයොත් හොල්මන් අර පොත් වලින් ගත්තු සාහිත්‍ය විචාර ගැන කියන කොට.” කෘෂිකර්ම ඇමතිතුමා වරක් මෙසේ කියනු සාලින්ද අසා තිබිණ.
“එහෙම තමයි මේ ගුණයා, හොයන්නෙ හොඳම ඒවා, පුහ් . . හහ් . . හහ් . . හා . . . . ” ඇමතිතුමා එවිට සිනාසුණි.

ජාතික කලා උළෙල ළඟ ළඟ ම එයි. එහි වැඩ කටයුතු සඳහා ඇමතිතුමා මේ දින වල නිතරම ගමනේ ය. 
“අයිසෙ, සාලින්ද, මේ සැරේ කලා උළෙල ට හොඳ කථාවක් ඕන. වෙනදා වගේ කථාව විතරක් නෙවෙයි මේ පාර අංග චලන වගේ දේවලුත් ප්‍රැක්ටිස් කරන්න ඕන. තමුසෙ තද කථිකයනෙ. මේ ටික කරල දෙනවා. මෙන්න උත්සවේ ට එන තද පොරවල් ටික. උන්ට වදින විදියට කතාව එන්න ඕන. තමුසෙ දන්නවනෙ, මං කලාව, සංස්කුරුතිය ගැන අකුරක් වත් දන්නෙ නෑ කියල“

ඇමතිතුමා කථාව පුහුණු වෙයි. සාලින්ද එහි වැරදි හදයි. 
“සර්, ගැඹුරු හඬ දිගටම තියා ගන්න. කෑ ගහන්න ඕන නැහැ.”
“හරි. හරි, ඕයි, මට නිතරම අමතක වෙනව මේක ස්ටේජ් එකක් නොවන බව”
ඇමතිතුමා ගේ දුරකථනය නාද වන්නට පටන් ගත්තේ මෙවිටය.
“ආ, ඩාලිං, ඔව් . . . මම එන්නං . . . මේ දවස් වල බිසී නෙ පැටියො . . . ඔව්, ඔව් . . . මගෙ වයිෆ් වස නපුරු ගෑනි කියල දන්නවනෙ . . . හරි, හරි . . . බායි . . .”
“අරය ද සර්“ ලේකම් ඇසීය.
“නෑ, නෑ, ඒක දැන් නාකියි නෙ. අර . . . අර . . . නිළිය . . . දන්නවනෙ . . . අරක” ඔහු කාන්තා රූපයක් දෑතින් ඇඳ දක්වමින් පැවසීය.
“සර් එයාවත් ඇල්ලුව ද? මාර ගණං දාගෙන නෙ හිටියෙ”
“මල්ලී . . . ඕන බඩ්ඩක් මේ ගුණපාල ඇමතිතුමා ගාව දණින් වැටෙනවා. ඕන එකක් දෙක දෙනකොට බිම” ඇමතිතුමා ජයග්‍රාහී ලීලාවෙන් පැවසීය.
“චික් විතරක් . . . මෙහෙම කුපාඩියෙකුට ද මම වැඩ කරන්නෙ?“ සාලින්ද සිතීය. මෙතැනින් පැන දිවීමේ බලවත් වුවමනාවක් සිත තුළ නැගෙමින් පවතී. එය යට කරගෙන ලෙඩ වුනු අම්මා ගේත්, වැහැරුණු නංගී ගේත් රුව නැගී එයි. “මේක දාලා ගිහින් මොනව කරන්න ද? ජීවිතේම හිඟා කන්න වෙයි. දෙයියනේ කියල ගේ දොර හදාගෙන ලස්සනට ඉන්නෙ මේ රස්සාවේ හම්බවෙන පඩිය හින්දනෙ”

“සර් . . . සර් . . . අපි මූව අල්ල ගත්ත. හෝල් එකේ හොරගල් අහුලනව” කෙසඟ සිරුරැති මිනිසකු ඔසවාගෙන ඇමති ආරක්ෂකයින් දෙදෙනකු පැමිනියහ.
“මූ මොකෙක්ද?” ඇමතිතුමා ඇසීය.
“මාධ්‍යවේදියෙක්ලු සර්”
“මොකෙක්? මාද්දිය . . . ”
“සර්, පත්තර කාරයෙක්, පත්තර කාරයෙක්“
”පත්තර කාරයෙක් . . . ඈ! පත්තර කාරයෙක්!”
“සර් ගෙ රිහසල් වල ෆොටෝ ගනිද්දි අහුවුණා”
“අයිසෙ මැක්ස්” ඇමතිතුමා යමකුට පැවසීය. “මූට දෙනවා නොම්මර හතළිස් හතරෙන්” අඩි හයකටත් වඩා උස මැක්ස් කෙසඟ මිනිසා කුදලාගෙන ගියේය. මොහොතකින් මර ළතෝනියක් ඇසිණි.
“හතළිස් දෙකයි . . .” ඇමතිතුමා කීය.
“මූ මිනී හතළිස් දෙකක් මරලා! අපොයි, මම මේ ඉන්නෙ කොහෙ ද? පණ පිටින් අපායෙ ද?” සාලින්ද තමන්ටම කියා ගත්තේය. පලා යාමේ අවශ්යතාවය දැන් තදින්ම දැනේ.
“කොහොම ද මැක්ස්?“
“සර්, දෙක දෙනකොට බිම”
“හරි, තමුසෙ යනවා . . . සාලින්ද, කොහෙ ද තමුසෙ පාවෙන්නෙ? දන්නව ද? මම ඊළඟට කරන්න යන වැඩේ? නිදහස් කලාකරුවො කියල කාලකණ්නි ටිකක් ඉන්නවනෙ. මම සමහර එවුන්ට පගා දෙනව. සමහර එවුන් ව හොරකම් වලට අහු කරනව. සමහර එවුන් ගාවට ගෑනු යවනව. අවුරුද්දක් යන කොට ලංකාවෙ ඔක්කොම ටීටර් කාරයො මගේ අල්ලෙ”
“අපොයි දෙයියනේ . . . මේක මට තවත් ඉවසාගෙන ඉන්න බැහැ. මූ පුදුම අපරාධකාරයෙක්. මට තවත් බැහැ . . .” සාලින්ද සිතීය.
“වල් බල්ලා . . . උඹේ අපරාධ වලට මම ඉන්නෙ නෑ” සාලින්ද කෑ ගැසීය.
“පුහ් . . හහ් . . හහ් . . හා . . . . මූට අමු කැවිල. මැක්ස් ට කියන්න මූටත් හතළිස් හතරෙන් ම දෙන්න කියල. මේ තමුසෙ මොන පණුවෙක් ද? තොල්ස්තෝයි, ගෝර්කි, කවුද අර තමුසෙගෙ චිත්‍රකාරයා, ඩා වින්චි, ඌ නෙවෙයි අර දොස්තරය . . . ඔව් . . . බුලගාකොව් ආවත් මං උං ඔක්කකොම සල්ලි වලට ගන්නවා. පුහ් . . හහ් . . හහ් . . හා . . . .” චීන ඌරා නැවතත් සිනා වෙන්නට ගති. 

මැක්ස් ඈත සිට එයි. 
”තොල්ස්තෝයි . . . ගෝර්කි . . . ශේක්පියර් . . . උඹලා කොහෙ ද?. කලාව විනාසයි. උඹලා මොනව කරනව ද?” 
හදිසියේම ගිගිරුම් හඬක් සමග ශාලාව අඳුරු විය. මැක්ස් උඩින්ම විසිවී ගියේ වහළයත් කඩා ගෙනය. රත් පැහැ මන්දාලෝකයක් සමග අහස ගිගිරුමකුත් ඇස් නිලංකාර කරන විදුලියකුත් කෙටීය.
”මම තොල්ස්තෝයි . . .” රුසියානු තාලයට හැඳගත් යමෙක් මන්දාලෝකය අතරින් ඇදී ආවේය. 
“මම ගෝර්කි . . . මම ඩාවින්චි . . . ” තට්ටය සහිත ඩාවින්චි වේදිකාව මතය. 
“මම ශේක්ස්පියර්“ තව අයෙක් පැමිණයේය.
වෙද නළාවකුත් සිරිංජි කටුවකුත් ගෙන සුරුට්ටුවකුත් කටේ ගසා ගෙන පස්වැනිව තව අයෙක් පැමිණියේ ය. 
“මිත්‍රයනි, පවුකාරයා අල්ලමු” ඔහු කෑ ගෑයේය. මුලින් පැමිණි හතර දෙනා ඇමතිතුමා ගලග්‍රයෙන් ගෙන බිම හෙළුවෝය.
“බුල්ගාකොව් . . . මේ යකාගේ මොළය දිය වෙන බේත දෙන්න” ගෝර්කි නම් වූ තැනැත්තා කීය.
බුල්ගාකොව් නමැත්තා යම් දුඹුරු පැහැ දියරයක් ඇමතිතුමා එන්නත් කළේය. 
“කලාව කවදත් නොමියෙයි. අත් පිටපත් කවදාවත් නොපිළිස්සෙයි” පස්දෙනාම එකවර කීහ.
නැවත ගිගිරුමකි. නැවත විදිල්ලකි. ශූන්‍යතාවය මැද සාලින්ද හිඳ ගෙන සිටියේය. ඇමතිතුමා, මැක්ස් හෝ ශාලාව පෙනෙන්නට නොවීය.

කල්හාර

"යුෂ්මතා ට මේ සම්බන්ධයෙන් කියන්නට ඇත්තේ කුමක් ද? වැරදිකරු ද, නිවැරදිකරු ද?”
“වැරදිකරු”
“මේ වරද සඳහා මරණ දඬුවම ලබා දිය හැකි බව යුෂ්මතා දන්නවා ද?”
“දන්නවා ස්වාමීනි. නමුත් මා මරන්නට බැහැ”
මොහොතකට උසාවිය ගල් ගැසී ගියේය.
“යුෂ්මතා තම ප්‍රකාශය පැහැදිලි කළ යුතුය”
“ස්වාමීනි මිය යන්නේ මා සිරුර පමණයි. අනෙක් කොටස් දැනටම මිය ගිහින්“
මෙවර වඩාත් දිගු කලෙකට උසාවිය ගල් ගැසී ගියේය. 

කල්හාර නිමලසිංහ යන නම ඇසූවන් බියෙන් තැති ගන්වන නමක් බවට පත් වූයේ පසුගිය වසර දහය තුළය. බිය යන්නා වු වචනය නොහඳුනන, කපටි නුවණැති, එතෙක් මෙතෙක් මෙරට සිටි දරුණුතම මිනී මරුවා කල්හාර ය. ගිනි අවියෙහි හුරුව, බලවත් සිරුර එමෙන් ම වැදගත් මහත්මයකු ගේ පෙනුම ද ඔහු ට තිබිණ. උසාවියේ දී ත්, වෛද්‍ය පරීක්ෂණයේ දී ත් ඔහු හා කථා කරන්නට මට හැකි විය. තියුණු සැතක් වැනි බුද්ධියක් ද, ඔහු සතු බැව් මට තේරුම් ගියේ එවිට ය. මෙතරම් බුද්ධිමත් මිනිසකු දරුණු අපරාධකාරයකු වන්නේ කෙසේ ද? නිමල දිය දහරක් වන් මේ මිනිසා, නියම් ගම් දෙගොඩ තලා යන ගං වතුරක් බවට පත් වූයේ කෙසේ ද? එය මට කිසි දිනෙක දැන ගත හැකි නොවනු ඇත. තමන් ට අනිවාර්යෙන්ම මරණ දඬුවම හිමි වන බව ඔහු දැන සිටියේ නඩු විභාගය පටන් ගන්නටත් පෙර සිට ය. කිසි දු හැඟීමෙන් තොරවම ඔහු එය බලාපොරොත්තුව පසු විය.

උසාවියේ පහන් අඳුරු කෙරිණි. විනිශ්චයකාර තුමා විසින් තීන්දුව ප්රනකාශ කරන ලදී. ඊට දින තුනකට පසුව ඔහු ප්රසිද්ධියේ එල්ලා මරනු ලැබීය. එල්ලුම් ගස දක්වා ගමන ද තවත් ගමනක් මෙන් ම ඔහු ගමන් කළේ ය. ඔහුගේ අවසාන ඉල්ලීම වූයේ ද එල්ලන විට මුහුණ වැසීම නොකරන ලෙසය. නමුත් එයට ඉඩ දෙන නොලදී.

අපරාධ මනෝවිද්‍යාගව පිළිබඳ ව මා සතු ලිපි ගොන්නට එකතු වූ විශේෂිතම ගොනුව මෙය විය. කිසිම ආකාරයකට මානසික ව්‍යාධියක් නොපෙන් වූ කල්හාර ගේ එකම වෙනස වූයේ අද්භූත වූ ශාන්ත ස්වභාවයයි. තව දුරටත් අධ්‍යනය කළ යුතු, එහෙත් නිදර්ශක නොමැතිව අත් හැර දැමූ, ලිපි ගොනුවට කල්හාර නිමලසිංහ ගොනුව ද එක් කෙරිණ.
“ඩොක්ටර්, මම කල්හාර ගැන හොඳට දන්න කෙනෙක්” හදිසියේ ම දිනක් මා කාර්යාලයට පැමිණි කාන්තාවක් මා හා පැවසූවා ය. මම ඈ දෙස බැලීමි. වයස තිස් පහක් පමණ ඇත. වයස විසි ගණන් වලදී ඉතාම රූමත් ව සිටින්න ට ඇත. ඇගේ අතේ වූ විවාහ මුදුව ගලවමින් දමමින් කාලයක් ගතවීම නිසා වෙඳැගිල්ල මත වූ සිහින් කරගැට මා දුටුවෙමි. නියපොතුද කොට වන්නට කපා ඇත. ඇය හෙදියක වන්නට ඇතැයි මට සිතුනි. ඔව් . . . නිදි මැරීම නිසා ඈ මෙලෙස වැහැරී යන්නට ඇත. 

“නර්ස් නෝන කෙනෙක් ද?“ මම අඩමානයට ඇසීමි.
“ඔව්”
“නිමලසිංහ ගැන කීවෙ?“

ඇය බිම බලා ගත්තාය. නෙතග නැඟුණු සිහින් කඳුලක් වැර වෑයමින් සඟවා ගන්නට ඇය අසාර්ථක උත්සාහයක යෙදුණාය.
“කල්හාර මම වැඩ කල රෝහලේ ඉංජිනේරුවරයා. ඔහුට ඖෂධවේදය ගැනත් සහතිකයක් තිබුණා. ඒ දවස් වල මුළු රටේම ඊ.සී.ජී මැෂින් හැදුවෙ කල්හාර. ඕනෑම දෙයක් ගලවලා බලලා නැවත ඒ විදියටම හදන්න එයාට පුළුවන්“
“මේ ගෑනි මගේ වෙලාව කනවා. මම මේවා දැනටමත් දන්නවනෙ” මම සිතීමි.
“මම දොස්තර මහත්තයගෙ වෙලාව නාස්ති නොකර මම දන්න දේ කියන්නම්“ ඇගේ දුඹුරු පැහැ නෙත දල්වා මා දෙස බලමින් ඈ කීය. මැය කල්හාර ගේ පෙම්වතිය වී සිටින්නට ඇත. ඇගේ දෑස දකින ඕනෑම අයකු ඇය වෙත අද්දවා ගන්නා ආකර්ෂණයක් එහි විය. 

“කල්හාර කියන්නෙ හරිම මුරණ්ඩු චරිතයක්. එයා මගේ පස්සෙන් එන්න ගත්තෙ ඔය කාලෙමයි. එතකොට මම මගේ පළමු පත්වීම ලැබිලා මාස හතරක් විතර. කල්හාර මට වඩා අවුරුදු තුනක් විතර වැඩිමල්. මම එයාව ගණන් ගත්තෙ නැහැ. පුරා අවුරුද්දක් සැරින් සැරේ මගෙන් ආදරේ ඉල්ලගෙන කල්හාර ආවා. අන්තිමට මම බොරුවක් ගොතලා කිව්වා මාව බඳින්න කෙනෙක් ඉන්නවා කියල.”
“ඇත්තටම ඒක එහෙම වුණා ද?” මම ඇසීමි.
“නැහැ. මම කිව්වෙ බොරු බව කල්හාර ඒ වෙලාවෙම දැන ගත්තා. දින කීපයකට පස්සෙ කල්හාර මා ළඟට ආවා.”
“මගේ ආදරේ විහිළුවක් කර ගැනීම ගැන බොහොම ස්තුතියි. මට ඔයා නැතිව ඉන්න බැහැ. ඉන්දීවරී අදින් පස්සෙ කල්හාර දකින්න ලැබෙන්නෙ නැහැ.”
“මෙහෙම කියල කල්හාර යන්න ගියා. ආයෙත් පහු වෙනිදා වැඩට ආපු නිසා මම හිතුවෙ කොල්ලන්ගෙ බොරු කතා කියන්නෙ එව්වට කියල“
“ඉතින්“
“දවස් දෙකකට පස්සෙ ඉස්පිරිතාලෙ දි කල්හාරට මොකක් ද කියපු මන්ත්‍රීතුමාගෙ මිනිහෙකු ගෙ මූණට කල්හාර ගැහුවා. මූණෙ ඇට ඔක්කොම කුඩු වෙලා ගිහින් තිබුණා. මීට කලින් කල්හාර කාටවත් බණිනවා පවා මම දැකල නැහැ. හැබැයි කැත විහිළු නම් නිතරම කළා” 

“මන්ත්‍රීතුමාගේ චණ්ඩි තුවක්කු අරගෙන ඉස්පිරිතාලෙට ආවෙ කල්හාර හොයන්න. කල්හාර ඕ.පී.ඩී. එකේ වහලෙ හැංගිලා හිටියා, හරියට මේ දේ වෙන බව දන්නවා වගේ. අන්තිමට ආපු චණ්ඩියාගෙ තුවක්කුව උදුරගෙන අට දෙනෙක් ට වෙඩි තිබ්බා. ඊළඟ හරිය ඩොක්ට දන්නවනෙ”
“ඔව්. ඊට පස්සෙ ආසියාවේ භයානකම සීරියල් කිලර් උනේ කල්හාර”
“කල්හාර කිව්ව දේ හරි. මගෙන් ආදරය ඉල්ලන් ආපු කල්හාර අන්තිමට මම දැක්කෙ එදා. ඊළඟට මම දැක්කෙ වියරු වෙච්ච යකෙක්”
“එතකොට මේ ආදර ප්‍රශ්නයක් හින්ද ද කල්හාරට මෙහෙම වුනේ?”
“ඩොක්ට. ඕනම කෙනෙක් ගෙ ආදරය විහිළුවට ලක් කරන්න එපා. ඒ අයට ඒ ආදරය කොච්චර වටිනව ද කියල අපි දන්නෙ නැහැ. අඩු ගණනෙ එක වරක් වත් එයා ආදරය කරන බව පිළි ගන්න“

හංස ගමනින් ඈ ඉගිලී ගියාය. ඒ ඉංජිනේරු කල්හාර ගේ මළ ආත්මයත් සමගය.

Monday, March 30, 2009

පතිවත (1)

මල නොතලා රොන් 
ගනී මෝඩ බමරා

මානව හිමිකම්

කැපූ බොටුවෙන් පෙරෙන
ලේ තැවරු කඩුවක්
කෑගෑයේය
“අනේ, මං කඩතොලු වෙලා”

රාජ්‍ය සේවය

පිට කැසුම
දිය යට ගින්දර
දිය රෙද්දෙන් 
බෙලි කැපුම
බ්ලේඩ් . . . කිණිසි . . .

පතිවත (2)

පිපුණු මල් කැමති
තලා රොන් ගන්නවට ද?
නොතලා රොන් ගන්නවටද?

උකුණන්

ඒයි බලාපන් . . .
මම ඉන්නෙ කොච්චර උඩ ද?
මගේ ඔළුවේ උකුණෙක්
කීය මා ප්‍රේමිය හිස වු
උකුණකුට .

තැලීම

තලන තරමට
ගඳ පැතිරෙයි
කිඩාරම් මලෙත්

සංවාද

කථා . . කථා . .
තවත් කථා . . . .
නැවතත් කථා . . .
විසිර ගියහ සභා තුමූ
සතුටින . . .

අවවාද

එළවපන් නරියා
ඔවදන් දෙන්න පළමුවෙන්
පඳුරු ගානේ යන
කිකිළියට . . .

පතිවත

මිහි මතෙන් වඳව ගිය
සැම දාම සොයා යන
යහන මත සිඳී යන
අරුම පුදුම විජ්ජාව

බලාපොරොත්තුව

සැම දේම නැතිවෙද්දි
සැම වේලෙ ඇති වෙලා
සැම දාම පවතිනා
දේකි සදා නොමියෙනා

මෝඩයා

එකට එකක් 
සේල් දෙන තැනකින්
ගත්තා මං
මෝඩයෙක්

රාත්රිය

සුන්දර රාත්‍රියකි මනරම්
යළි නොඑන ගෙවී යන
තරිඳු කිරණත් හෙමින් ඇවිදින්
කවුළු දොර අස්සෙන්
යහනතේ හිස මතට වැටිලා
සුමුදු එළියෙන් මුව පෙනෙයි
ලංව වෙළිලා දෑත් පටලා
මුවෙහි උණුසුම සොයා යයි
තිසර තුඩු හිස ඔසවලා විත්
ඇඟිලි තුඩු මත තුඩු දෙවයි
රැහැයි නාදෙත් නිසල වී ගොස්
හදවතේ හඬ සවන පතුරයි
එපා රිවිඳුනි නැගී එන්නට
සොඳුරු රාත්‍රිය ගෙවී යයි

නගරය

කහ ඉරි හැකිලී දියවූ මාවත
පැළුණු වලා වියනට ඉහළින්
දිලෙනා සැඩ හිරු රැසින් තැවෙද්දී
රෝස මල් යහන් කොතැන සැදේවි ද
සිමෙන්තියෙන් කල මල් පිපුණාවේ


පවනක් නොහමන මහ නගරය මැද
කළු දුම් රොටු විත් පෙණහැලි හිර කර
දමනා වේලෙක හුස්ම පොද සොයා
පලා යන්ට වන වදුළු තියේවිද
කුළුණු සෙවණ යට සිසිල සදාවා


වසන්තයට පීදිලා නටා එන
එරබදු මල් වැල් කොහේ සොයන්න ද
කොවුල් ගීත හඬ වදුළු පුරාවට
පිළි රැවු පතුරා කෙදින ඇසේවි ද
කාක නාදයෙන් කන් පිරුණාවේ

ඇරැඹුම

අඳුරු හද ගැබ තුළින්
නැගී ගිනි පුපුරක් ව
නාඹ තල් කඳන් සා
වී දිලෙන මහ කල එළිය
ගොර අඳුර රජ කරපු
පහන් ටැඹ පාමුලට
තෙරපෙමින් ගලා එයි
සොමි සඳේ රැස් දහර
සඳ නොමැති ගණ රැයට
කොඳ කැකුළු මැලවෙමින
අවදි වෙයි මහනෙලක්
උදා රිවි රැස් යටින
ගිනි වදින හිරු සෙවණ
වියලි ගිය හද ඉමට
වලාහක පැමිණ ඇත
සෙනෙහසේ වැසි රැගෙන

නොදැනුම

වලාකූළු වියන අතරින් හිරු මල හිනැහෙයි
තම මොහොතින් වැසි දහරක් බිමට ඇද හැලෙයි
මන්දාරම් අඳුර මැදින් සිහිල් සුළං එයි
නුඹත් ඉතින් සමහර විට අහස වගෙ තමයි


ගස් වැල් මල් කැකුළු මතින මද නල දිව එයි
දාහෙන පීඩිත කරවා සුළං නිසල වෙයි
සුළි සුළඟක් වී අවුදින් මහ ගස් උදුරයි
නුඹත් ඉතින් සමහර විට සුළඟ වගෙ තමයි


පද පේළිය කියනා විට හද මල වැලපෙයි
ඒ එක්කම නැවත වරක් හදවත සනසයි
මදහස දනවන පේළිත් ඒ අතරට එයි
නුඹත් ඉතින් තේරුම් නැති කවියක් ම තමයි

වියැකී ගිය වසත් සමය

හන්තානේ කඳු මුදුනට පුර හඳ පායන වෙලේක
සඳ එළියෙන් කඳු නැහැවෙන අයුරු මහට නුඹ කියන්න
කඳු පිස ගෙන හමනා නල සිහිලෙන් සිත සනසා ගෙන
මා හා පිය මං කර ගිය මාවත මතක ද කියන්න


මහවැලියේ ගං දෑලේ තුරු වදුලුත් තව එලෙස ද
ඔය දෑසට එබී බලන් කියු ප්‍රේම ගී මතක ද
දෑත දෑත පටලාගෙන දුනු පාලම මත සිට ගෙන
මහවැලි දිය සමග ඇදෙන මල් පෙති ගැන්නා මතක ද


මල් යායේ පෙම් පහයේ නෙක පැහැයන් සිත දරාන
අඩ අඳුරේ ගීත ගැයෙන වළ මතක ද මට කියන්න
හිමිදිරියේ ජනේරුවේ නැගි මිහිදුම් සළු වගේ ම
හන්තානේ වසත් සමය වියැකී ගිය හැටි කියන්න
(1999)

පමා වී ආ වසන්තය

පාට පාට කොළ පිරී
බිම සරසන හේමන්ත යාමේ
කොළ හැලූනු මහ ගහක
සෙවනේ පිපී හිනැහෙන
බිම් මලක් හමු විය
පමා වූ වසන්තෙට පිපුනු

නව වසරකට පෙර

නව වසරකට පෙර මම ද නව යොවුන් තරුණයකු වීමි. මේ වනාහි හදිසියේ නෙත් ගැටී, හදිසියේ ඇරඹී, හදිසියේ වැඩී, හදිසියේ ම මිය ගිය මගේ කුළුඳුල් පෙම් කතාව යි. ගතින් තරුණ වුව සිතින් මා මහළු කල ඒ දෛවයේ සැමිටි පහරෙහි කතාවයි.


හිරු දෙවිඳු මහ වැරින් පායලා හිස මතින්
පුංචි පාන් බාගෙ බස් රියෙක හිර වෙලා
හමු වුණා අප දෑස පිරු පෙරුම් සපුරලා


ගිනි ගහන මද්දහනෙ වියළි සුළඟට හැරී
සිසිල් වූ අප හදෙහි පෙම් කවක් පද බැඳී
තනු සදා කොවුල් පෙළ තුරු මුදුනෙ හඬ නැගී


හිරු බසින රතු පාට පෑළ දිග ආකහේ
වෙරළ ඉම තනිවෙලා දෑස් තරු දිලී ඒ
සිප ගත්තු උණුසුමක් මෙදින වුව තව තියේ


මඳ සිසිල ගලා යන ඉල් මහෙක අටවකට
ආකහේ දිලී ගිය නෙක පැහැති තරු කැලට
ඇසුනා ද අප ගැයූ පෙම් ගීත එක්ව සිට


මුළු ලොවම නිදි වැදුණු සඳ මියෙන රුදු රෑක
වෙන් වෙලා මුළු ලොවින් ඔබ පාව ගිය ඈත
තනිව මා රුදු ලොවෙහි සදාකල් අමාවක

ඉකිබිඳුම

බොහෝ දෙන නෙත් හෙලා බලා හිඳිනා ලොවේ
හඬන්නට බැරිය මට උන් පැතුම් සුන්ව යේ
කඳුළු හංගා ඇසෙහි ඉවත බැලුමුත් රැයේ
තනිව හිඳිනා පැයෙහි ඒ කඳුළු වැල් නැගේ


බොහෝ බර දෙවුර මත වෙලා ඇත සිත ගිලන්
පැතුම් මල් පරවෙලා දුඹුරු පැහැ වී ගිහින්
අස්වැසිලි ලද සැණින් අතීතෙට පාවෙමින්
පැතුම් සුවඳෙහි අරුම විඳිමි පෑරුණු සිතින්


ගතෙහි වණ සුව වුනත් සිතෙහි වණ තව තියේ
නුඹ පහස නැති බැවින සිත් සොවින් තැවී යේ
අන් අතක නුඹ වෙළි රන් මුදුව පැළඳි යේ
වෛර නොකරමි ඉතින් තුටින් ඉන් නංගියේ

පාළුව

හිරු නොමැත - සඳු නොමැත
සුවහසක් තරු නොමැත
තනිව ගොස් අහස් ගැබ
පාළුවෙන් පිරැවිලා   
හිරු කිරණ - සඳ කිරණ
දස දහස් තරු කැකුළු
රැගෙන ඒවි ද ඒ අහස
කැල්මෙන් පුරවලා . . . .

වැසි නොමැත - ගං නොමැත
පිණි බිඳක් හෝ නොමැත
වියැළිලා පොළෝ තල
ඉරි තැලී පැලී ගොස්
වැසි පොදක් - ගං දියක්
රැගෙන ඒවි ද එබිම
නිල්ලෙන් පුරවලා . . . .

මල් නොමැත - රොන් නොමැත
හැළුණු පෙති හෝ නොමැත
පාළුවී සල් ගසම
මල් හැලී කොළ හැලී
මල් කැකුළු - රොන් රේණු
පිබිද ඒවිද ගස නැවත
සරසලා . . . .

වෙන්ව යාම

කඳුළු බිඳු ගලා ගොස් දෙතොල් ඉරි තැලී ගිය
සිනාවනු මිසක වෙන කුමකටද අප දෙනෙත
ගිනි වැදී දැවෙන රත් හිරු මඬල ඇතත් උඩ
අහසෙ ඉඩ බොහෝ ඇත වලාහක දෙවියනට


බිඳුණු බඳුනින් නොමැත පලක් දිය බොනු පිණිස
අප දෑත අපට ඇත හිසට සෙවණක් ලෙසද
අප දෙදෙන හමු වුනොත් ඈත දුර ඇති දිනෙක
සිනාසෙමු අප එක්ව ගෙවුනු ඒ අතීතෙට


කඳු මුදුන් පහත් බිම් පොළෝ මත පිහිටියද 
ගලන ගඟ පිටාරෙන් සියළු දෑ යට නොවෙද
අප දෙදෙන හමු වුනොත් ඈත දුර ඇති දිනෙක
සිනා කැන් උතුරවමු මතක් කොට අතීතය

Tuesday, March 24, 2009

සිරි පොද වැස්ස

මේ වහින්නේ එදා සිරිපොද වැස්සමයි
මැයි මල් පෙති පලසින් හැඩවුණු
නුඹයි මමයි එක් ව තෙත් වුණු
සොඳුරු සිරි පොද වැස්සමයි


මේ වහින්නේ එදා සිරිපොද වැස්සමයි
එකම කුඩයක සෙවණේ රඳනට
සිහින් සුළඟට තුරුළු කරගත්
පෙමෙහි සිරි පොද වැස්සමයි


මේ වහින්නේ එදා සිරිපොද වැස්සමයි
මැයි ගස් සෙවනේ වීදි කොනේ 
විඩාබර පෙම් සිතෙහි තෙත ලන
සොඳුරු මල් වරුසාවමයි
(2008)

ප්‍රියංගිකා

සන්තාපය දුක හැමදා පණ අදිද්දි ඇඳන් මතම
වැහැරී ගිය මිනිස් සිරුරු හති දමද්දි වට පිටාවෙ
දැති රෝදෙන් නිමැවී ගිය යන්තර ලෙස උන් බලද්දි
නුඹේ සිනා මල් පොකුරකි තුන් බිය සැරිසරන බිමෙහි


ඔසු මේසය තල්ලූ කරන් ඔසු බෙදනා සැඳෑ වෙලේ
මේසය මත හිස තියාන ගිමන නිවන අතරතුරේ
තේ එකකුත් හදා ඇවිත් දොඩමළු වන රෑ ජාමේ
කතා කරන නුඹ දෑසින් කියන රහස් සිතට දැනේ


කල් ගෙවිලා අප සමු දෙන දවස ළඟයි හිත කැළැඹේ
නුඹ දෑසින් කියූ රහස් සැබෑ නොවේ කුරිරු ලොවේ
අප එක්වී දොඩමළු වූ පැසේජයේ කොරිඩෝවේ
ප්‍රියංගිකා නුඹ නැහැ අද ඒ තැන් දැක සිත ලතැවේ
(2008)

පිස්සන් කොටුවේ පිස්සාගෙන්

උදේ හවා උන් දුවනව
ඉහළ පහළ නිමක් නැතිව
තට්ටු ගණන් හීන පුරන්
දුක් විඳිනව ඒ ගානට
මවා ගත්තු පැතුම් පොදිය
ඉටුවන තුරු ඇඟිලි ගනියි
මේ බිත්තිය වෙන් කරාවි
පිස්සො පිරුණු ඒ ලෝකය
(2008)

නිදහස් බයිලා

අනංමනං වෙබ් අඩවිය ලංකාවේ පටන් ගත් මුල්ම සිංහල ෆෝරමයන්ගෙන් එකකි. කවි හා සාහිත්‍ය නිර්මාණ පළ කරන්නට ගත් පළමු ෆෝරමය ලෙස අනංමනං අවිවාදයෙන් සැලකිය හැකිය. මමත්, බූන්දියේ කූඹියාත්, බෝදිනීත්, මම නොහඳුනන ප්‍රියංකර සහ බීට්ල් මෙම අඩවිය තුල උණුසුම් විවාද වල නියළුනහ. මෙය නොරිස්සූ එහි සමහර සාමාජිකයන් සහ සමහර මොඩරේටර්වරු අප නිර්මාණ කප්පාදුවත් කැලෑ පත්තර ගැසීමත් ඇරැඹූහ. සිතේ හටගත් කෝපය පද වැලකට පෙරලුනේ මේ අයුරිනි.

නිදහස ලැබිලා මල්ලි නිදහස ලැබිලා
තලූ මරන්න හරිම රසට නිදහස ලැබිලා
නියෙඟට දැවෙනා පොළොවට වැහි බිඳු ලෙසිනා
ශ්‍රැතියට අනුවා ගයමු නිදහස සමරා

හැම එකටම එකක් ලෙසයි උපත ලැබූයේ
තමන්ගේ ම කියන විටදි සතුටින් ඉපිලේ
සර්වරය සුද්දගේ මල්ලි අඩවිය අපගේ
පටුන සුද්දගේ නංගි ත්රෙඞ් ටික අපගේ

ඇත වැට කඩුළු සමහර වෙබ් වල නපුරු
නෑ වැට කඩුළු මේ අඩවියෙහි සුමිතුරු
නෑ අපහාසා පත්තර වල මෙන් දකිනා
නෑ සිත රිදුමා සුරපුර වේය මිහිපිටා

කවිත් ගීත් සුළු විහිළුත් එකපිට එන්නා
පරිගණකෙන් විකුම් පාන උපදෙස් ලැබෙනා
රටේ දැයේ ප්‍රශ්න වලට පිළියම් සොයනා
අනං මනං වෙබ් අඩවිය මතු මතු දිනෙනා

සුවඳ මල් වගේ පද වැල් එකිනෙක අමුණන
සැම දෙන අපි එක්ව ගයමු අප නිදහස ගැන
බයිල කියා පුද දෙමු අපෙ අනංමනං එක
නිවන් දකිත්වා අපගේ මොඩරේටර්ස් කැල

තාලය ඉස්සුවා - නන්දා මාලිනී ගේ නිදහස් බයිලා
(2008)

මළගම

පිච්ච මලින් සැදි මංගල යහනේ
විස කටු ඇතිරූ සෙයක් දැනේ
හදවත් පාරා ඒ විස කටුවෙන්
ගලන රුහිරු දුටුව ද හිමි සඳුනේ


දෙවැනි ගමන දින වතෙහි අඩුවු රත
දෙනෙතින් පිරිමසිනට සිදු වී
සුර පුර වැඩි මා මාමණ්ඩිය රුව
බිත්තිය තුළ වූ යමක් සොයයි


වරදෙහි නොබැඳෙන සීතාවන් ඇත
සළෙලූන් මිහිපිට නොමැති තුරා
සුදු පැහැයෙන් සැරසුණු මා ලොව
ඉරබටු තරුවත් මිලින වෙලා


එකට එක්ව හිඳ කූඩු තනන්නට
පැතූ පැතුම් සුළෙඟහි විසිරී
කිළිටි ඉතිරිය ද මා නුඹ ලෝකේ
පතිවත කිසිදා රකිනු නැතී
(2008)

රණ විරිදු

පණ රැක ගෙන ඉවරයි තව ටිකකින් පමා වුවොත් මේ ලංකාවේ
මිනිකන කොටියා ලංකා පොළොවෙන් කඩුගානෙමු රැක දෑ ආලේ
සිහල දමිළ මුස්ලිම් වූ දුහුනන් ලෙයින් පෙඟුණු උතුරේ පොළොවේ
අඩව් අල්ලනා ත්‍රස්තවාදියා පරදමු අප අත් බැඳ රාළේ


කිරි කැටි දරුවන් මන්නා පහරින් දෙපළු කලා මේ රුදු කොටියා
දණ බිම ඇන යාදිනි යදිනාවුන් වෙඩි පහරින් සැතපෙවු සැටියා
විසි වසරක සිට නිදහස ඉල්ලන දමිළ සිහල මල් පිබිදෙන්නා
ගිණි දණ්ඬේ මකුළුවන්ට සුබ නැත උතුරේ යුද ගිනි දැල් නැඟුණා


ජාතික ආලය සිත් වල රඳවා ඩොලර් කාක්කන් උල තියලා
වළලන්නේ කවද ද මහ කොටියා සිරි ලක් පොළොවේ හප්පාලා
ගිණි කෙළි මල් වෙඩි සිහි ගන්වාලා මල්ටි බැරල් අහසට විදුනා
රට වෙනුවෙන් දිවි පිදුව ද කම් නැත යුද විරුවන් සටනට වන්නා


ආකෘතිය ඉස්සුවා - පුරන් අප්පු කවි, සුනිල් එදිරිසිංහ
(2008)

ආදරේ

මුවරද පිරුණු මල් අතරෙහි නොදුටිමි මම ආදරේ
සඳ දිය දෙවුණු ගං දෑලක නොදුටිමි මම ආදරේ
කඳු වියනේ හරිත රටා අතරේ නොදුටිමි මම ආදරේ
තනි යහනේ හුදකලාව උණන කඳුල ආදරේ


සැණකෙළියේ මධු බඳුනේ පතුලෙ නොමැත ආදරේ
මහ මැදුරේ මුදු පලසෙහි පිය නොනඟයි ආදරේ
හිමිදිරියේ පහන් තරුව නොදනී ඒ ආදරේ
තනි වූ සිත් තුළින් නැගෙන දුක් ගීයයි ආදරේ
(2008)

මගේ කවිය

කවි නොවේ ඔබට මා ලියන්නේ
කඳුළු බිඳු පන්හිඳෙන් 
එකට එක් කර ලියන
ළසෝ ගී පද වැලයි ඇසෙන්නේ
කටුක වූ දුක් දරා 
විරහයෙන් ඉරි තැලූණු 
සිත පතුළ කළඹවා
පිබිදිලා නැගී එන රාවයයි
සය වසක් දුක් දරා 
වනපොත් ම කරන ලද
මහ පොත් හි පසු පිටෙහි
පද බැන්දු කව් පෙළෙන් හැඩවුණයි
ගී ලෙසින් නොවේ කව් ගැයෙන්නේ
සිත් ඉමෙහි ඇළ වේලි 
පුපුරුවා ගලා යන
සෝකයේ ජල කඳෙහි
ගිගිරුමයි ඔබට ඒ ඇසෙන්නේ
පෙදෙහි රස හව් සොයන
සුහදිනිය මේ අසා
රළු පරළු පද වැලට වෙනු කමා
(2008)
 

තනිකම

සඳ හිරුත් නොපෙනෙනා - මහ වනේ තනිවෙලා
සිතට නැත පාළුවක් - ඔබ සිතේ ඇති තුරා


වීදි කෙළවරට තෙක් - දනන් පිරී ගිය පුරවරේ
සිතක් ඇත තනි වෙලා - ඔබ එතැන නැති නිසා


කළු ගඟේ ඉවුර හිඳ - අඳුර පැතිරෙන පැයක
නැගෙන අඩ සඳ බලා - පදවැලක් ගොතන්නට


රැහැයි කිරි කිරිය මැද - බස්සකුගේ තනි නදින්
තනුව සදවා ගයමි - නුඹ නමින් ඒ ගීය
(2008)

බල්ලෝ

බුරති සඳ ඇති දාටත්
බුරති සඳ නැති දාටත්
(2008)

යදම්

දුබලයි
දුබලම පුරුකේ තරමට
සවිමත්
ප්‍රබලම පුරුකේ තරමට
(2008)

ආසාව

සඳට මම ආසයි
හිරුට වඩා
කළුවර රෑට පායලා 
එළිය දෙන නිසා
(2008)

විවාහය

නැති අයට 
පෙන්න පෙන්නා කන
ඇඹුල් මුත් ඉවත නොදමන
අඹ ගෙඩිය
(2008)

මී විත

”බොන්නේ ඇයි?”
”ලැජ්ජාවට”
”ලැජ්ජ ඇයි?”
”බොන නිසා”
(2008)

කඳුළු

ඉතින් බලාපන්
දුකටත් ගලනවා
සතුටටත් ගලනවා
(2008)

සොඳුරිය

පොලොවේ මුල් නැති
ගහම බදා ඉන්නා
උඩ වැඩියාව
(2008)

ආදරය

මා නිසා පිළිසිඳි කළලය
ඔහු වෙනුවෙන් පුදකළ විට
ගබ්සා විය
(2008)

වැනුම

දේදුන්නේ හැඩය දරන - දෙබැම දෙසම නෙත් හෙලාන
පිහාටුවක සුමුදු සුවය - කෙහෙ රැල්ලක සඟවා ගෙන
ඒ ලස්සන සිතට අරන් - පාට කතන්දර පොතක්ම
ඉතින් ගොතන්නම්


තරු එළියට සඳ එළියට - දිලෙනා ඔය දෑස බලන්
හත් දින්නත් තරු පොකුරට - ගීත ලියන්නම්
ඒ ගී තනු පද බන්දා - තරිඳු දිලෙන පුර පෝයක
නුඹට ගයන්නම්


නුඹ මා තුරුළට වදිනා - හැම වේලෙක ඒ උණුසුම
සිත අද්දර හැම දාටම - රඳවා ගන්නම්
ඒ උණුසුම අප එක් කළ - අදිසි රහස ලෙසින් සිතා
පෙමින් වෙළෙන්නම්
(2008)

Monday, March 23, 2009

ගැමුණු කුමරුනි

රණ භූමි සිසාරා - කඩොල් ඇතු පිට නැගී
හෙළ දෙරණ රකිනු වස් - වෙර දැරූ පෙර දිනේ
ගැමුණු කුමරුනි යළිත් - පැමිණෙන්න මේ දිනේ


රන් මසු පොදි පිටින් - මඩි ගහන දුදන කැළ
ඔබ රුහිරු ගත දුවන - හෙළ මවගෙ දරු පිරිස
බිලි දෙවති උන් රැකෙති - වනසමින් මව් දෙරණ


ඒ දිනේ ඔබ නැසූ - එළාර ද පැමිණ ඇත
ඔබ කල්හි මෙන් නොවේ - දුදන ගති බොහෝමැයි
මව් දෙරණ බෙදන්නට - උන්ට රජ කරන්නට


එදා දින වාගේම - යුද සෙන් ද පෙරට ගෙන
මව් බිමේ වැද සිටින - පරපුටුන් පන්නන්න
ගැමුණු කුමරුනි යළිත් - අප අතර ඉපදෙන්න

අසහනකාරයා දුටු කාලකණ්නි සිහිනය

කිසිවෙක් නැත පොත පතක් බලන්නේ - පසුවෙයි සැණකෙළි සුව විඳිමින්
අලසව සිටි අය සැවොම විභාගෙන් - සමත් උණා ගෞරව සමගින්
ඒ.සී. කරණිත මිනී කාමරේ - පිස එයි ඉමිහිරි මල් සුවඳක්
කෑම පැයෙන් පසු බුරුතු පිටින් විත් - මිනී සයන වට අරක් ගනී
කිරි පිටි සීනි ද පදමට මුසු කර - අවන්හලේ තේ සතයට දෙයි
සාදයකට සැරසුණාවු වැනි නෙක - රස බොජුනෙන් කුස පිරවෙයි
කඩුව පැත්තකට දමාලා - මවු බස වෙත යළි තැන ලැබිලා
ඉතින් ගැටළු නැත සීමාවන් නැත - කළු සුද්දන් ගියෙ රට පැනලා
නෑ කිසි බේදා ඇත සහයෝගා - මිහිපිට සුර පුරයයි මෙබිමා
මල් යායෙන් වැසි වදුළු පුරාවට - කුරුළු ජෝඩු නැත පෙම් කෙළිනා
බමරා තනි වී දුකෙන් තැවෙද්දී - මලක් ඇවිත් සිත් ළඟන් හිඳී
රුවැත්තියක් විත් ලකුණු අඩු වුවත් - මවෙතින් සෙනෙහස අයැද සිටී
අයුක්තියට නෑ කිසිදු ඉඩක් - උද්ඝෝෂණ කෙරෙතී ඒ වෙනුවෙන්
විමුක්තිකාමී අසූ නමයෙ මළ - සොයුරා නැගිටියි මිනී ඇඳෙන්
විච්ඡේදන කුටියේ සැතපීලා සිටි - සඳුන් ගසට සැත තැබූ සැණින්
(1999)

වැස්සට පසු

මඳ සුළඟ හා නටන මල් කැකුළු වන් දිවියෙ
පෙරඹරම කළු කරන් මේ කුළුත් දිව ඇවිත්
වැටුණු වැසි දිය දහර ගං වතුර ලෙස ඇවිත්
සුණු විසුණු කර ගොසින් මල් ගසන් එහි මලූත්


අඩි තබන පොළොව මත පෙරෙන දිය බිඳු විලස
කඳුළු බිඳු දිව ගියා මගෙ කොපුල් මතුපිටින
ඒ කඳුළු වියලිලා මහ පොළොව විලස අද
ඒ වුණත් හදේ තෙත ඇත තවම ඒ ලෙසින


ගං වතුර බැස ගිහින් සරු වෙලා මහ පොළොව
නව ගසක් ඇති වෙලා එහි මලූත් පිබිදිලා
සෙමින් ලංව බැලූ කලට එහි අරුත වැටහිලා
බාඳුරා පඳුරක් ය හදවතම වියැළුණා
(2001)

එපා එන්න

සුදට සුදේ වළාකුළක නුඹ සැඟවී බලා ඉන්න
මහ පොළොවට එන්න එපා නිරුදක කතරකි මේ බිම

කුරුල්ලන්ට නුඹ කියන්න මේ ඉසව්වෙ එපා එන්න
ගිජු ලිහිණින් පිරිලා ඇත කුරුල්ලන්ව ගසා කන්න

සුළං සමග පාවී එන නුඹේ සිතුම් මට ද දැනේ
වැළපිල්ලෙන් සුසුම් වලින් පිරිලා ඇත වට පිටාව 


සමනල් පෙළ ආවෝතින් දේදුන්නේ පාට රැගෙන
සමනළයකු දැක තුටුවෙමි කෘමිනාශක පෙඟුණු බිමෙක
(2008)

ඔබ දුරයි

දුරක ඇතත් අප දෙදෙනා සිතින් තව ළඟයි
තුරුලිය ගොමු දකිනා විට සිත සෙමෙන් සැලෙයි
පෙර දා ලෙස විහඟ ගීත දෙසවන පුරවයි
ඒ ගීයෙහි මිහිර විඳිනු කෙලෙස ඔබ දුරයි


මලින් මලට රොන් කැන්දන බමර ගුමු ඇසේ
සියුම් සරින් සිත නළවා ඔබේ ගී වැයේ
සීත සුළං රැලි සියොළඟ හිරි ගඩු පිපුණේ
උණුසුම මා හට සදනට ඔබ ළඟක නැතේ


පපු තලයට තුරුළු කරන් විඳි ඒ සෙනෙහස 
හීනයක්ව මැවී පෙනේ උයනේ තුරු පෙළ
සංසාරෙන් සංසාරෙට ලබන්ට ඔබෙ අත
පහනක් දල්වමි මිදුලෙහි පහන් පැලෙහි අද
(2008)

සිහින ලොවින් සැබෑ ලොවට

නිල් අහසේ පියාඹලා - නිදහස විඳ සතුටු වන්න
කිරිල්ලියේ ළඟට එන්න - රිදෙනා තටු පිරිමදින්න
සිඳු ගැඹරේ කිමිදීලා - මුතු බෙල්ලකු රැගෙන එන්න
එහි තුල ඇති මුතු ඇටයෙන් - මුතුමාලය පළන්දන්න
හෙන්දිරික්ක මල් කුමරිය - වගේ සුවඳ දසත දෙන්න
හිරු කැන් ලෙස හිමිදිරියේ - දිව ගෙන එමි නුඹ දකින්න
දේදුන්නේ පාට අරන් - නුඹෙ අත්තටු හැඩ කරන්න
සමනළියේ මගේ ලොවට - සිනා කැකුළු අරන් එන්න
වියළි ගිය දිවි උයනේ - සිනා සෙමින් පිපී එන්න
වෙන මල් නැති නිසා ඉතින් - දිවි හිමියෙන් රැක බලන්න
(2008)

නාගරිකයාගේ ප්රථම ‍ප්‍රේමය

හිරු නැග එන අතර තුරේ මාවත් සෙනගින් පිරෙද්දි
අතොරක් නැතිවම දිවෙනා වාහන දුම් රොටු නගද්දි
ඉගිලී යන කපුටු රෑන් අතරින් මං පිය මනිද්දි
දුටුවා ඔබ මාවෙත මල් සුවඳක් රැගෙන එද්දි


මැයි ගස් පේළිය අතරින් වැහි සිරි පොද ඇද වැටිලා
මැයි මල් එක එක හෙමිහිට මුදු පලසක් ලෙස වැටිලා
සීත සුළං හමා ඇවිත් ඔබ කෙස් රොද සෙලවූවා
මගෙ මුල් පෙම සරසන්නට සොබා ලියත් එක් වූවා


මූදු වෙරළෙ සිතිජ ඉමේ හිරු කිරණත් මිය ඇදිලා
ගිනියම් වූ වා තලයත් ගිමන නිවන බව පෙනිලා
මේ හිරු ලෙස මියැදී ගිය මගෙ මුල් පෙම සිහි වීලා
තවමත් සෝ සුසුම් නැගේ කොළොම්පුරය නෙත ගැටිලා
(2001)

අවසන් විභාගය

මහා දුර කතරක් ගෙවා
බස් රියේ තෙරපිලා
හනි හනික ගෙට ඇවිත්
සරමකුත් ඇඳගෙන
වැසිකිළියට ගිය කලට
පිට වූ එකම එක
පඩය
(2003)

සෙනෙහස

හමා එමි හෙමි හෙමින්
හිමවු ගිර වන මතින්
එක් කරන් සුවඳ පොද
තවරන්ට කෙහෙ රැුලෙහි
පිරි මදිමි ලදළු වන්
සැලෙන හදවත ඔබේ
පිස හරිමි දුක් කඳුළු
සිනා රැළි මතුයේ
රෝස මල් සුවඳ දෙන
මතකයන් සිත දරා
ඔබේ සුවඳින් මැවුනු
සිහින ලොව ඉදිවයේ
දේදුන්න හැඩ කරන
සප්ත වර්ණයම ගෙන
හැඩ කරමි ඔබේ ලොව
පාට ගංගාවකින්
වැඩ නොගෙන ගලා යන 
සෙනේ ගඟුලින් බිඳක්
අමුණු තනවා හදේ
ඉතින් හරවා එවමි
(2006)

Saturday, March 21, 2009

මැයි ගස


කොල හැලී අතු පෙනෙන
පොතු හැලී දිරා යන
මඳ පවනකට වුවද
කිරි කිරිය පතුරුවන
සඳ පහන් වුණු රැයේ 
වවුල් තඩියන් ලගින
ඉර පිපෙන දහවලේ
කපුටුවන් පොර බදන
ගිරා කොවුලන් සැමට
අමතක ව අතැර ගිය
කුහුඹු ගණ බුත්තියට 
සවි වෙලා සුසුම් ලන
කඳට සවි බල ඇතත්
හදවතම දිරා ගිය
මාවතේ අද්දරෙහි
මියෙන මැයි ගසයි මම

(2006)

රුදුරු බව

වාඩි වෙමි උයන් තෙර - මධු බඳුන අත දරා
දරන්නට නොහැකි තැන - මේ රුදුරු පාළු බව
ඔඩම පුරවා ගනිමි - පෙණ නැගෙන සුරා විත
ඔසවලා එය සඳ වෙත - පුරමි සව්දිය
සෙවණැල්ල ද මගේ - පුරයි සව්දිය මා සමග
මමත් සෙවණැල්ලත් - සඳුත් අප තුන් දෙනෙකි
සඳු නොදනී බොන හැටි - සෙවණැල්ල මා තමයි
ඒ වුනත් අප තිදෙන - වන්නෙමු හොඳ මිතුරන්
දියව යන තුරු සෙවණැල්ල - පළමු අරුණැල්ලේ
සැඟව යන තුරු සඳු - අපර දිග අහස් කුස
නැති කලට කිසිවෙකුත් - මට කියන්නට මේ ලොවේ

ටු ෆූ ගේ කවියක් ඇසුරෙනි
(2006)

හීන

හීන පෙනෙනා විට දි සුව නින්ද අතර තුර
ඇස් පියා හිඳිමි මම හීනයේ සරමින් ම
දෑස හරිනා සැණින පරව යන මල් පොකුර
සම වේය හීනයන් අප සිතේ පිළිසිඳුන


ගොළු මුහුද නිසල වී හඬා වැලැපෙන හැඩයි
ලූණු රසට එන සුළඟ ඇත නැතද මට සැකයි
කැළණි ගං ඉවුරු තෙර වන නිල්ල මායිම යි
සියළු පැහැ සෝදාන යමෙක් ගෙන ගිය හැඩයි


සඳ හිරුත් තරු කැටත් අහස් ගැබ සරසාවි
මල් පිපී කුරුල්ලන් හැම දාම රඟ දේවි
නුඹට බැඳි පෙම මසිත සදා කල් පවතීවි
මගෙ සුරත නුඹ නමට කව් පෙළක් පබඳීවි
(2001)

කළු - සුදු - තළෙළු

ඇඟත් නැත - මොළෙත් නැත
වැඩත් නැන - සුදුත් නැත
උපයනා තුට්ටු දෙක
ගිනි වතුරෙ තම්බලා
විස දුමෙන් දවාලා
සුසුම් හෙලති ඉතින්
මීහරක් කම්කරුවො
ඇඟ වේවි කළ ගෙඩිය
අල ගෙඩිය සේ දිසෙන
හිස තුළ වු මොළ ගෙඩිය
අට පාස් සුදුම සුදු
කිරි කොක්කු වැඩක් නැති
සල්ලි මිටි කා දමන
මී හරක් ධනපතියො
දවස ගානේ වැරින්
වෙහෙසිලා උපයනා
සොච්චමෙන් කරවනා
දහසකුත් මන්දීර
මොළ ගෙඩිය ලොකු නිසා
තැවෙති උන් හැම දාම
තළ එලලූ පැහැ දරන
මැද පෙළෙහි සිහිනයන්
කළු රකින ජන බලය
සුදු රකින ධන බලය
තළෙළු පැහැ වුන් රකින
ආයුධය මොළ බලය
(2006)

නුඹ

තරු ලියන් පිරිවරා - සිත නමැති නුබ ගැබේ
පතුරනා මුදු එළිය - සඳවතිය නුඹ මගේ


තණ පත් වියන මත - පිණි දිලෙන පෙර යමෙක
පිපී සැඟවුණු රුවැති - කෞමදිය නුඹ මගේ


කෝල මස් කැල අතර - පිහිනනා සිඳු ගැඹර
පරයන සියළු අඟනුන - කින්නරිය නුඹ මගේ


හදවතේ මල’සුනේ - පරව යන මල් අතර
පර නොවී සුවඳ දෙන - සල් මලයි නුඹ මගේ
(2006)

නිමක් නැති කව

හිනැහියන් හීන තුළ - හැබෑවට නැති නිසා
තුරුලූ වී උණුසුමට - ඉස්සර දාක වාගේ ම
හිඳින්නට උකුළ මත - පිරිමදිද්දී හිස
සිහි කරගන් එදින - හිරු දැවුණු එ් උදය
පවුකාර බල්ලන්ගෙ (කොටියන්ගෙ)
ගිනිබටෙන් පනින ගිනි දැල්ල
ගිනි ජාලා ඇවිලිලා - අරගෙන ගියා උන්
එන්නේ කවදාද - දොර කඩුල්ලෙන්
මරා දැමූ පිය සෙනෙහස 
යන්නේ කවදාද නුඹ - මව් තුරුළට යළිත්
වන සපුන් රජ කරන - ගෙන්දගම් පොළොව මත
එඩි අරන් සිට ගනින්
මතක තියා ගන් සැමදා - හිරු දැවුණු ඒ උදය
සමාව නොදෙන් කිසිදා - ඒ අමන තිරිසනුන්ට


නිමිත්ත: මහ බැංකු බෝම්බයෙන් අනාථ වූ කුඩා දැරියක් වසර 11 කට පසුව ඒ ගැන අසයි. 

නොපෙනුමේ වෙනස

සුමනසිරි - මා දුටිමි නුඹ
නඩරාජා - මා දුටිමි නුඹ
හද තුළම අප අපගේ
ඇසළ කලබල මැවූ
ගම් නියම් කැති ගැසූ
යක්ෂයින් කොයි ගියෙද?
සබඳ අපි නොදනිම්හ
ඌ තුමූ කිසි දාක 
අප හදේ නොසිටියහ
වෙඩි ලන්නෙ නොමැත මා
මිය යන්නෙ නුඹ නිසා
යක්ෂයා වැජඹෙයි
වන්නි කැලයට ඇදී
කොන්ක්‍රීට් වනයෙන් වැසී
(2006)

නික්ම යාම

නවාතැනේ කල ගෙවිලා ඉවරයි
පිටව යන්න කාලය ඇවිදින්
ජීවිතයේ තව ඉමක් නිමා කර
සමුගෙන් යන්න ලඟයි


මසුරන් පොදි බැඳි 
නිසා ද මේ විට
කිත් යසසත් ලූහුබැඳ එන්නේ
විකුට ආත්මය වෙන්දේසියෙදී
මාගෙන් සදහට සමු ගත්තේ


අගුපිල් යහනේ සුවෙන් නිදාගෙන
ඉඳුල් දංකුඩය රස අහරක් කර
හිතවත් කම වලිගයේ කොණට ගෙන
මා දැක ගන්නද මේ ආවේ


මිනිස් මහ වනේ අතරමංව ගොස්
මග වැරදී යළි පලා යමි
සසල සිතින් මා සමුගෙන යන විට
කළ ගුණ නිසාද මේ ආවේ
හිතවත් කම වලිගයේ කොණට ගෙන
මා දැක ගන්නද මේ ආවේ
(2006)

X නම් හැඟීම (2 වන කොටස)

එය ඔබට අඬගසයි - යන්න පසුපස එම මගෙහි
ගොහොරු බිම් - කඳු ශිඛර පිරී ඇත ඒ මගෙහි
තැනිතලා දිය කඳුරු - මල් උයන් තරමටම
පියපතින් එය වසයි - යටත් වනු එය හට
මුදු උණුසුම තුළම - කැපෙන කග පත් ඇතත්
එය පැමිණ අඬ ගසයි - යනු මැනවි සවන් අදහා
මහ සුළං සේ ඇවිත් - බිඳලුවත් පැතුම් පොදි
ඔටුණු පළඳවන අත - කුරුසියෙත් ඇණ ගසයි
අහස් තල වෙත ඇදී - පිරි මදිත ඔබ ලදලූ ආදරෙන්
මුල් තුලටම වැදී - සොලවයි මුළු ගසම මහ වැරින්
එය ඇවිත් ඔබ වෙතට - එක්කරයි එය වෙතට
තලා මැඬ හොඳ හැටි - නොමැතිය වෙන අටියක්
එයම එය සපුරනු හැර
(2006)

වෛද්‍ය පීඨ ගීතය හෙවත් කඬේ යාම

උදේ හයට නැගිට ගන්න - බෝඩිම වෙත පිය මනින්න
නුඹෙ පොත් ගොඩ අතේ අරන් - නුඹ පස්සෙන් පිය මනින්න
ඒ යුගයට නැවත යන්න - නුඹෙ ආදරෙ මෙමට දෙන්න


දැනුම් සයුරෙ නුඹ ගිලෙද්දි - කැන්ටිම වෙත ඉගිල්ලෙන්න
ටී දෙකකුත් අරන් ඇවිත් - එක මේසෙන් ඈඳි ගන්න
ඒ යුගයට නැවත යන්න - නුඹෙ ආදරෙ මෙමට දෙන්න


දේශන වල වාඩි වෙලා - නිදි කිරද්දි ගජරාමෙට
නියපොත්තෙන් කොනිත්තලා - මිතුරො එක්ක හිනාවෙන්න
ඒ යුගයට නැවත යන්න - නුඹෙ ආදරෙ මෙමට දෙන්න


රෑ දහයේ කණිසම දෙස - ඇඟිලි ගැණල බලා ඉන්න
කාසි ගිලින යකඩ කටට - පහේ කාසි ගිල්ලවන්න
ඒ යුගයට නැවත යන්න - නුඹෙ ආදරෙ මෙමට දෙන්න


අමාරුවෙන් පෝලමෙ ඉඳ - ගත්ත නමුත් දුර කථනය
සුව නින්දක සැතපෙයි නුඹ - බයයි මෙමට කූද්දන්න
මටත් හිතුණ හැරිල එන්න - නුඹෙ ආදරෙ මෙමට දෙන්න


අමාරුවෙන් ගලප ගත්තු - නිසඳැස් කවියක් යැව්වම
බැචියන්ටත් එය පෙන්නල - ගොන් වැඩ ලෙස හඳුන්වන්න
මටත් ඇත්තෙ හැරිල එන්න - නුඹෙ ආදරෙ මෙමට දෙන්න
(2001)

නොහඳුනන ආදරය

ඇසළ මල් මතින් එන - මුහුණ පිස ගෙන හමන
අවුල් කරන ඔය කෙහෙ රැල්ල - මඳනල දැනුනා ද නුඹට
සුවඳ තියෙද මඳ නලෙහි - මසුරන් පිස හමන ?


වක්කඩ ලඟ ගලන් යන - දිය පාරෙ යස රුවට
දඟ කරන මාලූ පැටවු - දැනුනා ද කෙටුවා පුංචි මුවඬගින් 
මාලූ පැටවු සෙව්වා ද - අපේ කුල ගොත් ගැන ?


සඳ එළිය ගලා යන - හෙන්දිරික්කා මල් යායෙන්
ආවාද නැහැ පුඩු තුළට - වෑහෙන මනරම් සුවඳ
හෙන්දිරික්කා මල් දන්නව ද - අපේ උගත් කම් ගැන ?


කල් බලා පෙරුම් පුරා - හදවතට සිහිල දෙන
පිදූ ඒ ආදරය - දැනුනාද නුඹට එය
වෙන දේවල් දන්නවා ද - පෙමින් පිරි අපේ හදවත් ?
(2002)

පමාව

දෑස් කෙවෙණියෙහි දිලෙන කඳුළු කැට 
පිස ලන්නට ඔබ අසන සඳේ
හෙලා ඇති නිසා සයුරක් තරමට
කඳුළු නැත ඇසෙහි ඔබට පිසින්නට


හද ගැබ පතුලේ සුසුම් රැළිති පෙළ
සඟවන්නට සිහිනයක් වෙලා
හෙලූ සුසුම් රැල් එකට එකතු වී
කුණාටු සුළඟක් වුවද සැදේ


පැතුම් පොකුරු සිත් පතුලේ රඳවා
සැබෑ කරන්නට ඔබ සැරසේ
පැතූ පැතුම් පොදි වැලිකැට ලං වී
මහා මෙරක් තරමට උස් වේ
(2003)

කවිඳිය හා කවිය

මල් මුතු දමක් සේ ගැලපෙන සුමුද වදන් පත් ඉරුවක ලියා කවියක හැඩය අරන් එළිවැට එළි සමය දෙපසින් එකට අරන් පද වැල් ගොතා ඇත රස හව් තුරුලු කරන් සක්කා ප...