Sunday, May 24, 2009

වවුල්ලු

එල්ලිලා අතු අගෙක
පාද ඇත උඩ අතට
හිස බිමට වූ බැවින
මොළය ඇත හිස තුළම . . . !
රැහැන් අතරෙහි වැදී
මියෙන මුත් සැර වැදී
නොදනිමු ය අප වරද
පය ගසනු තැන් නොහී . . .
උඩු වියන් පාවඩය
කොන්ක්‍රීට් මුතු කුඩය
අතර පියඹා යමු ද
සොයා අර සඳ මඬල . . .
දිවා කල ගස් සෙවණ
රෑ කලෙහි සඳ එළිය
දුටුවෙමු අඳුරෙහි එළිය
නොදැක එළියෙහි අඳුර . . !

නුඹට

නිමල දිය දහර වන් සෙනෙහස සිතේ දරා
කොමල තෙපුල වත නිලුපුල ඇඳේ නුරා
එමල නෙලිමි කටු නැත නටු අගෙහි පුරා
අමිල තිලිණයක සොඳුරිය සඳයි සරා


සොඳුරු සිහිනයකි ගෙවෙනා කල දවස
පඳුරු ලලා වැවෙනා සෙනෙයෙහි නිවස
අඳුරු සෙවණැලිත් පලවා හැර සවස
කඳුරු දිය සොයමු නිවනට පෙම් පවස


ලවන් මතෙහි ගලනා ඒ කඳුළු කැට
පවන් සලා පිස ලන්නෙමි දිනෙක හෙට
සවන් පුරා දොඩනා බස් ගැටෙන විට
ගුවන් ගැබට පියඹන්නට හිතයි මට

Wednesday, May 20, 2009

අප

සඳ පහන සේ දිලී හිනැහියන්
මහ වැස්ස ඇද හැලී ගිය සැණින්
කොවුල් නද වී ගීත ගයාපන්
සැඩ සුළඟ නිසල වී ගිය සැණින්


සඳ හිරු තරු කැට නොපෙනෙන වන ගැබ
සිටියාට නොදැණුනා පාළුවක්
ඔබත් මා ළංව ඇති කටුක වූ මනු පුරේ
සොයමි හුරු පුරුදු වූ මාවතක්


ඇළ දොල පාමුල ගැයෙනා කවියකි
අප හද මල් තුල රැඳෙනා සෙනෙහස
කුණාටු සුළඟට මොර ගෙඩි වැස්සට
දිය කළ හැකි වෙද හද රැඳි එ සුවඳ

වසන්තය ගියා . . . ඒත් . . .

අඩ සඳ හිනැහලා අප දෙස හොරැහින් බැලුවා
තණ පත් ලපළු තුරු සුළඟට නැළැවෙනවා
රෝස මල් පෙති මතින් පිණි බිඳු විසිරෙනවා
ඒත් නගේ ටිකකින් හිරු පායනවා


බටිති මලිති රස ගීයෙන් ඔද වැඩුණු
අමතක කරයි ගත සිත දාහෙන් මැඩුණු
ඒ ගී අතර සරමින් සෙනෙහෙන් බැඳුණු
දැහැන බිඳුණි වාහනයෙන් දුම් දැමුණු


ලස්සන මල් බලා දෙන්නට ලං වී හාදු
බමරුන් කර ගනී උන් හට අරියාදු
මලට ලංව බැලු විට නුවණැස පෑදූ
මල කඳුලැස්ස අමතක කරපන් හාදු


වසත් සමය කාලය වෙයි හරි අගනා
සමහර විටෙක වැසි වැස පොළොවම තෙමනා
ඉක්ම ගිය සමය ගැන දැන් සිත නොතවා
ගිම්හානය ඇවිත් දොර අබියස හිඳියි බලා

සඳවත

සඳවත පවා වැසිලා ඇත දූවිල්ලෙන්
හදවත නමුදු නැලැවී යයි ඕවිල්ලෙන්
සවනත වැටෙන කුරවී ගී වැලැපිල්ලෙන්
පදරුත් සොයමි ඔබ කඳුලැලි ගඟුලැල්ලෙන්

කාලය

හිරු සඳුට හොර රහසෙ බැන්ද පෙම් දම් පරවී
තරු කැකුලු කොඳ කැකුලු විලසින්ම බිම වැටී
අතීතයෙ එක් දිනෙක තුරුලු වී සිනාසී
ලී බංකු පොතු හැලෙයි සැඩ කිරණ වදිද්දී


මල් උයනෙ තෝතැන්නෙ පොඩි මාලු මියදිලා
නිල් නෙළුම් කෙකටියා ගිල ගත්තු බෙරෙලියා
උයන්තෙර තුරු ගොමුවෙ කුරුළු ගී වියකිලා
නුඹත් මා යන දෙදෙන වෙන්ව ගිය දුක නිසා

Monday, May 11, 2009

මල්

හරි උසින් නුඹ පිපී
නෙළන්නට බැරි බැවින
ලස්සනයි නුඹ ඉතින
නෙලූ මල් පරදවන
නෙළන්නට බැරි නිසා
පර නොවෙයි විගසකින
නෙලූ මල් වාගේ
දමා ඇති බඳුනේ
නෙලූ මල් සැමදාම
සිතේ පිපිලා රුවට
නෙලාගත් දෑත හිමි
පර නොවෙයි කිසි දිනෙක
වනේ පිපි මල් ලෙසින

බිරීම

හඳට බුරන බල්ලෝ
හොරුන්ටත් බුරනවා

කඩුව සහ පෑන

“මම කපන්නෙ බොටුව”
කෑ ගායි කඩුවක්
“මම කපන්නෙ ආත්මය”
සෙමෙන් කීය
පෑනක් . . .

අයිතිය

බොහො එළිය හිරු සඳුට
වගෙම අහස අයිතියි
පුංචි තරු කැට වලට

ගංවතුර

මහ වැස්ස වැස්සාම
උතුරලා ගලා යන
කාටවත් වැඩක් නැති
ලොකුම ලොකු
වතුර කඳ

වෙනස

පොල් කොළේ
තල් කොළේ
ඉරටු හැඳිනිය හැකිය
තල් අළුත්
පොල් අළුත්
කෙලෙස හැඳිනිය හැකි ද?

කවිඳිය හා කවිය

මල් මුතු දමක් සේ ගැලපෙන සුමුද වදන් පත් ඉරුවක ලියා කවියක හැඩය අරන් එළිවැට එළි සමය දෙපසින් එකට අරන් පද වැල් ගොතා ඇත රස හව් තුරුලු කරන් සක්කා ප...