Pages

Thursday, October 18, 2012

අතරමං වූ කවිය


කවක් ඇත හදවත කොණක 
පිට වනු නොහැකිව
හදවතේ ගැඹුරුම තැනක
තිබුණු එළියෙන් මග සොයා
පිටවන්නට හැදුව
නිවී ගොස් ඒ එළිය
ගණඳුරුයි හදවතම
අතරමං වෙලා ඇත
ඒ කවිය හද කොණක


මග සොයනු වෙර දරයි
මහ වැරින් තඩි බායි 
උරෝස්ථියෙන් කපාලයට 
උඩ පනිමින්
ඉතින් සොඳුර,
ගෙන සැතක් විගහින්
එළියට ගනින් ඒ කවිය
මා සමග මිය යන්ට පළමුව
දැඩි වේවි ඒ කවිය
නුඹ ළඟම හැමදාම
හදවතේ සිරව ගිය
කවට මව් නුඹ බැවින

Friday, October 12, 2012

සුහදිනිය

හැම රක්ෂාවකම පුහුණු වීම් සමය ඉතාම දුෂ්කර වෙයි. නිතරම ජ්‍යෙෂ්ඨයන් ගේ තාඩන පීඩන වලට ලක් වෙමින්, කිසිදු අගය කිරීමකින් තොරව පැය 24 පුරාම වැඩ කළ සමයක් ද විය. වෛද්‍ය වෘත්තිය ද මින් නිදහස් නොවන්නකි. අපමණ දුක් කම්කටොළු විඳ, කුසට අහර පවා වේලාවට නොලබා ගත කල කාලය කා වෙනු වෙන් යෙදවූවාදැයි අපි නොදනිමු. සතුරු සෙන් බල මුළු ගැණුනු ලොවක කණිෂ්ඨ වෛද්‍යවරු ලෙස අප විඳි දුක් ගැහැට, සතුට, කඳුල මා හා බෙදා ගත්තේ නුඹයි. මිතුරියක් ලෙස සදා කල් නුඹ මා හදේ රැඳී සිටින්නේ ඒ නිසායි. 

සුදු ඇඳුමින් සරසා ගෙන යන එන දහසක් අතරෙහි
ගිලනුන් ගේ ගිලන් ගතට සුවයක් සදනට වෙහෙසුණ
ජීවක වෙස් ගෙන දවසම නොනිඳා රැය පහන් කරන්
අපිට අපි ම පමණක් සිටි කටුක යුගය මතක් වෙලා
හීන් දුකක් හද කොණකින් පිටට පැමිණුනා

දුකයි සැපයි යස අයසයි සමව බෙදා ගෙන වැඩකල
හිත් පතුලේ ගැඹුරුම තැන තිබුණු සියලූ දේම පවා
දැන ගෙන අප අපෙ ජීවිත දෙසම මහත් සොවින් බලා
ඒ හැම දෙය සිනාවකට පෙරළා දුක අවසන් කල
කාලය හීනයක් වගේ හිතට දැනෙනවා
(2006)

Thursday, December 8, 2011

කවියාගේ suicide notes


ස්වාමීනි,
තනිව ආවෙමි
තනිව සිටියෙමි
විය සිදුරෙන් දකින
කණ කැස්බෑ අහස
අතැර යන්නෙමි
මහ සයුර වෙත 
පැමිණි විලසම . . .
පිදූ මුත් පෙම පරම පිවිතුරු
සඳ එළිය සේ 
පසන් හැඟුමෙන
රුවා පස තුළ එයින් බිජුවට
සැදී මහ ගසක්
මල් පල ද දරා ගෙන
සිඳ දමා එහි සිරස
අඹරවා තෙදැති කඳ
උදුරුවා මුදුන් මුල
බිම දැමී වනස්පතිය . . .
ගණඳුර කෑලි කපන
ඉතින් මේ අවසන් හෝරාවයි
දොරටුව අබියස 
පැමිණ ඉන්නෙමි
මළ හෙයින් ආත්මයෙන්
බියක් නොදැනේ කිසි විට
අවසරයි ස්වාමීනි
මහෞෂධ වන් නැණැති
අසඩක් වන් තෙදැති
අසන්නට නිමිති නැති
නඩුවක් රැගෙන ආවෙමි
දෙන්නට දඬුවම් නොහැකි
මළ ආත්මය රැගෙන
ඉතින් අතැර යම් කණ කැස්බෑ අහස
විය සිදුරෙන් දකින . . .


(1998)

Sunday, April 3, 2011

වැස්ස

ඇතැම් වැහි මල් වැසි වෙයි. ඇතැම් වැසි දෝර ගලා යන ගං වතුර ඇති කරයි. ඇතැම් වැසි නව ජීවය ගෙනෙයි. ඇතැම් වැසි වේදනාව සෝදා හරියි . . .




වැහැපන් වැස්සේ වැහැපන්
සඳු හිරු තරු නිල් අහසත්
මේ කුළු තිමිරෙන් සඟවා


වියෝ දුකින් කම්පිත වූ
හදක් දරපු ඇස් දෙකකින්
ගලා ගිහිපු කඳුළු ලෙසින්
ඇළ දොළ ගං පිරී යන්න
වැහැපන් වැස්සේ වැහැපන්

ආදරයේ ඉඩෝරයට
ඉරිතලාපු හද මඬලට
අකලට ඇවිදින් හොරෙන්ම
නව දළු මල් පුබුදන්නට
වැහැපන් වැස්සේ වැහැපන්
(1999)

Wednesday, March 23, 2011

සමු ගැන්මට පෙර


කොර වූවෙක් වන්නෙමි
දෑත දෙපයින් නොව සිතින්
වක්කොලූ නොන්ඩි මිනිහෙක්
සිතින් කොහොමද කොර වෙන්නෙ?
ඔබ අසාවි . . .
එක සොඳුරු දවාලක දුටුවා මා ඔබ
සොඳුරු කීවාට ගිනි ගහන මද්දහන
සිසිල් වුනා ඔබ දුටු විට
පිබිදුනා දහසක් සිතිවිලි
නිදා සිටි යෝධයකු ලෙස
හැරදමා ඉඳුරු දොරටු 
ගැලූවා සිතිවිලි ගංගාවක්
සැදුනා හැඟුමන් දිය ඇල්ලක්
බොහෝ කාලෙකට පසුව . . .
නොදැන සිටියෙමි නමුත් ඒ සත්‍යය
නොදැන සිටියා නොවේ
නොවැටහුනා කීවොත් වඩාත් හරිය
එක් පසෙක පෙම් බැඳුම් පිණි බිදු සම බව
නැසී යන බව අසුරු සැණ ලෙස
දොස් කියන්නට එපා මා හට
ආලයෙන් අන්ධ වි සිටි නියාවෙන්
ඉවත බැලූවා ඔබ
පරණ කථාවම නැවතත්
වයිර බැඳි මහ බඹා සිටින තුරු කුමක් වේවි ද?
කඩා හැලූනා අඩ සඳ - අන්ධකාරය තුළට
තරු පෙළ ද දෙබෑ වි - ගිලූණි නුබ කුස තුළට
අකාල මේකුළු ඇවිත්
මේඝලතා විජ්ජුලතා සමග
වහිනවා වැස්සක්
සේදෙන්නට කඳුළු - නුඹ වෙනුවෙන් හලපු
හැර දාපු ඉඳුරු දොරටු
කල් මදිය වසා ගන්නට
දිව එන්නෙ ඒ තුළට සෝකයේ චණ්ඩ රළ
ගසාගෙන යයි ආත්මය - දිය රැළි සමග
වැටෙයි සිතිවිලි ගංගාවට
බොර පැහැ වතුර පිරි
ගලනවා දුඹුරු පාට දිය ඇල්ලක්
මොන තරම් අසුන්දර ද?
හැපෙයි නැවත නැවතත්
ජීවිතේ ඉවුරු වල
සිඳී බිඳී යයි - හැපෙන හැම වාරයෙම
දඬුවම් දෙන්නට නොහැක ඔබ හට
දඬුවමින් තවත් නොරිදෙන බැවින්
ඔබ රිදවනා මා හද
අවසරයි මා හට - හැර යන්න හැම දේම
හැර යන්ට සොඳුරු ලෝකය
තුරු ලතා පෙළ - පාවූ වළා යහන
ලංව සිටි සඳවතිය
සමුගන්න ඒ ලෝකයෙන්
සදහටම . . . .
(2005)

Tuesday, March 22, 2011

නෙලූ මල


මලක් පිපී ඇත යස රුවට
පෙති විදා අවදි වී
බිඟුන් මන් මත් ද වී
බලන්න  ඒ මල දෙස
කැකුළකින් අවදි වී


බලන්න නැවතත් ඒ මල ම
නෙළා ගෙන ඇත එය
ආඩම්බරයෙන් දිලෙයි
සාලය මැද පෝච්චියේ
දුටුවන් කරමින් කුල්මත්


බලන්න නැවතත් ඒ මල ම
පෙති හැලී දුඹුරු වී
කුඩු හැලෙයි පැතලි වී
දෙස් දෙවොල් තබයි
නෙළා ගත්තහුට ඒ මල


බලන්න නැවතත්
මල දෙස නොවෙයි මේ වර
නෙළා ගත් දෑත දෙස
කටු ඇනී සිදුරු වී
රතු රුහිරෙන් වැසී
දවයි චේදනාවෙන්
මල් නෙලූ ඒ දෑත


බලන්න නැවත නැවතත්
ඒ මල, ඒ දෑත
ඒ කටු, රතු රුහිරය . . .
(2004)

Sunday, June 13, 2010

අලුත් මල්

පැරණි මල් මුකුලිතයි
අලුත් මල් මන බඳියි
පැරණි මල් වල සුවඳ
එහෙත් අමතක වේද?