Monday, April 13, 2009

කල්හාර

"යුෂ්මතා ට මේ සම්බන්ධයෙන් කියන්නට ඇත්තේ කුමක් ද? වැරදිකරු ද, නිවැරදිකරු ද?”
“වැරදිකරු”
“මේ වරද සඳහා මරණ දඬුවම ලබා දිය හැකි බව යුෂ්මතා දන්නවා ද?”
“දන්නවා ස්වාමීනි. නමුත් මා මරන්නට බැහැ”
මොහොතකට උසාවිය ගල් ගැසී ගියේය.
“යුෂ්මතා තම ප්‍රකාශය පැහැදිලි කළ යුතුය”
“ස්වාමීනි මිය යන්නේ මා සිරුර පමණයි. අනෙක් කොටස් දැනටම මිය ගිහින්“
මෙවර වඩාත් දිගු කලෙකට උසාවිය ගල් ගැසී ගියේය. 

කල්හාර නිමලසිංහ යන නම ඇසූවන් බියෙන් තැති ගන්වන නමක් බවට පත් වූයේ පසුගිය වසර දහය තුළය. බිය යන්නා වු වචනය නොහඳුනන, කපටි නුවණැති, එතෙක් මෙතෙක් මෙරට සිටි දරුණුතම මිනී මරුවා කල්හාර ය. ගිනි අවියෙහි හුරුව, බලවත් සිරුර එමෙන් ම වැදගත් මහත්මයකු ගේ පෙනුම ද ඔහු ට තිබිණ. උසාවියේ දී ත්, වෛද්‍ය පරීක්ෂණයේ දී ත් ඔහු හා කථා කරන්නට මට හැකි විය. තියුණු සැතක් වැනි බුද්ධියක් ද, ඔහු සතු බැව් මට තේරුම් ගියේ එවිට ය. මෙතරම් බුද්ධිමත් මිනිසකු දරුණු අපරාධකාරයකු වන්නේ කෙසේ ද? නිමල දිය දහරක් වන් මේ මිනිසා, නියම් ගම් දෙගොඩ තලා යන ගං වතුරක් බවට පත් වූයේ කෙසේ ද? එය මට කිසි දිනෙක දැන ගත හැකි නොවනු ඇත. තමන් ට අනිවාර්යෙන්ම මරණ දඬුවම හිමි වන බව ඔහු දැන සිටියේ නඩු විභාගය පටන් ගන්නටත් පෙර සිට ය. කිසි දු හැඟීමෙන් තොරවම ඔහු එය බලාපොරොත්තුව පසු විය.

උසාවියේ පහන් අඳුරු කෙරිණි. විනිශ්චයකාර තුමා විසින් තීන්දුව ප්රනකාශ කරන ලදී. ඊට දින තුනකට පසුව ඔහු ප්රසිද්ධියේ එල්ලා මරනු ලැබීය. එල්ලුම් ගස දක්වා ගමන ද තවත් ගමනක් මෙන් ම ඔහු ගමන් කළේ ය. ඔහුගේ අවසාන ඉල්ලීම වූයේ ද එල්ලන විට මුහුණ වැසීම නොකරන ලෙසය. නමුත් එයට ඉඩ දෙන නොලදී.

අපරාධ මනෝවිද්‍යාගව පිළිබඳ ව මා සතු ලිපි ගොන්නට එකතු වූ විශේෂිතම ගොනුව මෙය විය. කිසිම ආකාරයකට මානසික ව්‍යාධියක් නොපෙන් වූ කල්හාර ගේ එකම වෙනස වූයේ අද්භූත වූ ශාන්ත ස්වභාවයයි. තව දුරටත් අධ්‍යනය කළ යුතු, එහෙත් නිදර්ශක නොමැතිව අත් හැර දැමූ, ලිපි ගොනුවට කල්හාර නිමලසිංහ ගොනුව ද එක් කෙරිණ.
“ඩොක්ටර්, මම කල්හාර ගැන හොඳට දන්න කෙනෙක්” හදිසියේ ම දිනක් මා කාර්යාලයට පැමිණි කාන්තාවක් මා හා පැවසූවා ය. මම ඈ දෙස බැලීමි. වයස තිස් පහක් පමණ ඇත. වයස විසි ගණන් වලදී ඉතාම රූමත් ව සිටින්න ට ඇත. ඇගේ අතේ වූ විවාහ මුදුව ගලවමින් දමමින් කාලයක් ගතවීම නිසා වෙඳැගිල්ල මත වූ සිහින් කරගැට මා දුටුවෙමි. නියපොතුද කොට වන්නට කපා ඇත. ඇය හෙදියක වන්නට ඇතැයි මට සිතුනි. ඔව් . . . නිදි මැරීම නිසා ඈ මෙලෙස වැහැරී යන්නට ඇත. 

“නර්ස් නෝන කෙනෙක් ද?“ මම අඩමානයට ඇසීමි.
“ඔව්”
“නිමලසිංහ ගැන කීවෙ?“

ඇය බිම බලා ගත්තාය. නෙතග නැඟුණු සිහින් කඳුලක් වැර වෑයමින් සඟවා ගන්නට ඇය අසාර්ථක උත්සාහයක යෙදුණාය.
“කල්හාර මම වැඩ කල රෝහලේ ඉංජිනේරුවරයා. ඔහුට ඖෂධවේදය ගැනත් සහතිකයක් තිබුණා. ඒ දවස් වල මුළු රටේම ඊ.සී.ජී මැෂින් හැදුවෙ කල්හාර. ඕනෑම දෙයක් ගලවලා බලලා නැවත ඒ විදියටම හදන්න එයාට පුළුවන්“
“මේ ගෑනි මගේ වෙලාව කනවා. මම මේවා දැනටමත් දන්නවනෙ” මම සිතීමි.
“මම දොස්තර මහත්තයගෙ වෙලාව නාස්ති නොකර මම දන්න දේ කියන්නම්“ ඇගේ දුඹුරු පැහැ නෙත දල්වා මා දෙස බලමින් ඈ කීය. මැය කල්හාර ගේ පෙම්වතිය වී සිටින්නට ඇත. ඇගේ දෑස දකින ඕනෑම අයකු ඇය වෙත අද්දවා ගන්නා ආකර්ෂණයක් එහි විය. 

“කල්හාර කියන්නෙ හරිම මුරණ්ඩු චරිතයක්. එයා මගේ පස්සෙන් එන්න ගත්තෙ ඔය කාලෙමයි. එතකොට මම මගේ පළමු පත්වීම ලැබිලා මාස හතරක් විතර. කල්හාර මට වඩා අවුරුදු තුනක් විතර වැඩිමල්. මම එයාව ගණන් ගත්තෙ නැහැ. පුරා අවුරුද්දක් සැරින් සැරේ මගෙන් ආදරේ ඉල්ලගෙන කල්හාර ආවා. අන්තිමට මම බොරුවක් ගොතලා කිව්වා මාව බඳින්න කෙනෙක් ඉන්නවා කියල.”
“ඇත්තටම ඒක එහෙම වුණා ද?” මම ඇසීමි.
“නැහැ. මම කිව්වෙ බොරු බව කල්හාර ඒ වෙලාවෙම දැන ගත්තා. දින කීපයකට පස්සෙ කල්හාර මා ළඟට ආවා.”
“මගේ ආදරේ විහිළුවක් කර ගැනීම ගැන බොහොම ස්තුතියි. මට ඔයා නැතිව ඉන්න බැහැ. ඉන්දීවරී අදින් පස්සෙ කල්හාර දකින්න ලැබෙන්නෙ නැහැ.”
“මෙහෙම කියල කල්හාර යන්න ගියා. ආයෙත් පහු වෙනිදා වැඩට ආපු නිසා මම හිතුවෙ කොල්ලන්ගෙ බොරු කතා කියන්නෙ එව්වට කියල“
“ඉතින්“
“දවස් දෙකකට පස්සෙ ඉස්පිරිතාලෙ දි කල්හාරට මොකක් ද කියපු මන්ත්‍රීතුමාගෙ මිනිහෙකු ගෙ මූණට කල්හාර ගැහුවා. මූණෙ ඇට ඔක්කොම කුඩු වෙලා ගිහින් තිබුණා. මීට කලින් කල්හාර කාටවත් බණිනවා පවා මම දැකල නැහැ. හැබැයි කැත විහිළු නම් නිතරම කළා” 

“මන්ත්‍රීතුමාගේ චණ්ඩි තුවක්කු අරගෙන ඉස්පිරිතාලෙට ආවෙ කල්හාර හොයන්න. කල්හාර ඕ.පී.ඩී. එකේ වහලෙ හැංගිලා හිටියා, හරියට මේ දේ වෙන බව දන්නවා වගේ. අන්තිමට ආපු චණ්ඩියාගෙ තුවක්කුව උදුරගෙන අට දෙනෙක් ට වෙඩි තිබ්බා. ඊළඟ හරිය ඩොක්ට දන්නවනෙ”
“ඔව්. ඊට පස්සෙ ආසියාවේ භයානකම සීරියල් කිලර් උනේ කල්හාර”
“කල්හාර කිව්ව දේ හරි. මගෙන් ආදරය ඉල්ලන් ආපු කල්හාර අන්තිමට මම දැක්කෙ එදා. ඊළඟට මම දැක්කෙ වියරු වෙච්ච යකෙක්”
“එතකොට මේ ආදර ප්‍රශ්නයක් හින්ද ද කල්හාරට මෙහෙම වුනේ?”
“ඩොක්ට. ඕනම කෙනෙක් ගෙ ආදරය විහිළුවට ලක් කරන්න එපා. ඒ අයට ඒ ආදරය කොච්චර වටිනව ද කියල අපි දන්නෙ නැහැ. අඩු ගණනෙ එක වරක් වත් එයා ආදරය කරන බව පිළි ගන්න“

හංස ගමනින් ඈ ඉගිලී ගියාය. ඒ ඉංජිනේරු කල්හාර ගේ මළ ආත්මයත් සමගය.

1 comment:

කවිඳිය හා කවිය

මල් මුතු දමක් සේ ගැලපෙන සුමුද වදන් පත් ඉරුවක ලියා කවියක හැඩය අරන් එළිවැට එළි සමය දෙපසින් එකට අරන් පද වැල් ගොතා ඇත රස හව් තුරුලු කරන් සක්කා ප...