Monday, October 14, 2019

ගජමන් නෝනා

මේ මල් උයන තවමත් මට මතකයි. මේ මල් උයන මැදින් ගලා යන ආරේ ඉවුරු වෙත මා මුලින්ම පැමිණියේ කවි පන්තියක් ලිවීමටයි. නමුදු මට ලිවිය හැකි වූයේ එකම එක කවියකි. අගක් මුලක් නැති එකම එක කවියකි.

- - - - - - - - - - -  - - - - - - - -

"ඔයා මට කවියක් වෙනවද?" ගජමන් නෝනා ඇසුවාය.
"කවියක් වෙන්නේ ඇයි? කවිය ඉවර වෙනවනේ" ඇළපාත මුදලි පිළිවදන් දිනි.
"හැමදාමත් මතක හිටින කවියක්, තොල් මතුර මතුර ඉන්න, කවියක්. පාළුවෙන් ඉන්න කොට පාළු කැපෙන්න කවියක්, වැස්ස වැටෙනකොට වැහි බින්දු වල තාලෙට ගයන්න පුළුවන් කවියක්"
"එහෙම කවියක් මා ඉස්සරහ තියෙනවා"
"ඇත්තද?"

ඇළපාතගේ අත ගෙන ගජමන් නෝනා හිඳගෙන සිටියේ වෙනදා හිඳ ගන්නා බංකුවේමය. වසරක පමණ සිට ඔවුන් හිඳ ගන්නේ මෙතැනමය. ගජමන් නෝනාගේ පැලෙනුත්, ඇළපාතගේ සඳැල්ලෙනුත් මිදී, ඔවුන් පලා එන්නේ මේ උයනටය, උයන් පල්ලා ඔවුන් දනී. ඔවුන්ට මේ අසුනේ ඉඩ හසර සදා දෙන්නේ උයන් පල්ලා විසිනි. 
විටෙක හිමිදිරියේ තුෂාර යටිනුත්, විටෙක දිවා කල සැඩ හිරු කිරණ මැදිනුත්, විටෙක සැඳෑ කළුවර කුර ගාමින් පැමිණෙන විටත් ඔවුන් හමුවන්නෝය. ඔවුන්ගේ මනෝරථය පූරණය වන්නේ මේ උයන තුලදීමයි. මේ ඔවුන්ගේ වෘන්දා වනයයි.

"මට යන්න වෙනවා" ගජමන් නෝනා හදිසියේම කීවාය. නිමේෂයක් ඇය නැගිට සිටියාය.
"ඇයි යන්නේ?"
"යන්න වෙනවා"
"ආයේ කවදාද එන්නේ?"
"දන්නේ නෑ" ගජමන් නෝනා බිම බලාගෙන සිටියාය. "මම යනවා" ගජමන් නෝනා තමන්ගෙන් ඈත්ව යනු ඇළපාත බලා සිටියේය. ඇළපාතගේ උරහිස මත තබා සිටි ගජමන් නෝනාගේ හිසෙහි උණුසුම ඔහුට තවමත් දැනේ. එහි වියැළී ගිය කඳුළක් දෙස ඇළපාත වික්ෂිප්තව බලා සිටියේය. හදිසියේම තනිකමින් වෙළනු ලැබූ ඇළපාත උයනෙහි ඇවිදීමට පටන් ගත්තේය. 


උයන මැදින් ගලා යන නිසල ආර ඉවුරේ ඇළපාත ගමන් කරමින් සිටියේය. රතු රෝස පාත්තියක වෙහෙසෙමින් වැඩ කරන උයන් පල්ලෙක් ඔහුගේ ඇස ගැටිණ. ඔහු මල් පැල එකින් එක ඉන්දවයි. පාත්ති වල පස පෙරළයි. ඉන්ද්‍රජාලයකින් මෙන් බලා සිටියදීම මල් ගස් වැඩී රෝස කුසුමින් ගහණව යනු ඇළපාත බලා සිටියේය. ආර ඉවුරේ තව දුරටත් ඇවිද ගිය ඔහු දුටුවේ තවත් උයන් පල්ලකු පොකුණක් සාදන අන්දමයි. බිම කැන ගල් අල්ලා හැඩ කල පොකුණට වතුර පිරී ගොස්, එහි නිල් මහනෙල් මතුවීමට ගියේ ඉසුබුවක් පමණි. මහනිල් මල් පිපී රඟද්දී ඔහු තවත් ඇවිද ගියේය. උයන කෙළවරේ ඇත්තේ සතුටු උයනයි. සතුටු උයනේ නෙක පැහැ විදුලි බුබුලින් සරසා ඇත්තකි. තවත් උයන් පල්ලෙක් විදුලි බුබුලු සවි කරමින් සිටියි. සවිකරන හැම බුබුලක්ම නව පැහැයකින් දැල්වෙයි. සතුටු උයන පසු කල පසු ඇත්තේ වන රොදකි. එහි ගසක් මුල සැතැපී කුරුළු කූජනයට සවන් දීම ඇළපාතගේ පුරුද්දකි. වෙනදා නුදුටු ලොකු තාප්පයක් දැකීමෙන් ඇළපාත දුර්මුඛව නැවත හැරිණි.

සතුටු උයන වෙතින් යමක් ගසා පොඩි කරන ශබ්දයක් ඇසෙයි. පෙර කී උයන් පල්ලා පොල්ලක් ගෙන විදුලි බුබුළු එකින් එක බිඳ දමයි. බිඳින බිඳින බුබුලක් පාසා අඳුර ඇදී එයි. ඇළපාත ඉදිරියට පැන උයන් පල්ලා අල්ලා ගත්තේය. උයන් පල්ලා තම ජටාව ගලවා, කහට රැඳුණු දත් දක්වා ඇළපාත හා සිනාසුණේය. ඒ තමාම බව දුටු ඇළපාත ගල් ගැසී ගියේය. බියවී පස්සෙන් පස්සට ගිය ඇලපාත උයනේ දොරටුව වෙතට දිවයාමට පටන් ගත්තේය. ඇලපාත දැන් දුවන්නේ පොකුණ පසු කරගෙනයි. උයන්පල්ලා පොකුණේ බිම අලවංගුවක් ගෙන බිඳ දමනු ඔහු දැක්කේය. මහනෙල් මල් නටුවලින් උදුරා ගොඩට ඇද දමා ඇත. මහනෙල් මල් කඳුළු සලමින් වැලපෙයි. පොකුණේ දිය කිසිවක් නැත. ඒ වෙනුවට සුදු පැහැ ස්ඵටික තට්ටුවකින් බිම වැසී ඇත. උයන්පල්ලාගේ උරහිසින් අල්ලා හැරවූ ඇලපාත නැවතත් දුටුවේ ඒ තමාම බවයි. උයන්පල්ලා ඔහු හා සිනහ වී, අලවංගුව ඇළපාත වෙත පෑවේය. "එන්න අපට වැඩ තියෙනවා". අවුල්වී ගිය ඇළපාත නැවත පටු මාවත දිගේ ගමන් ගත්තේ, මල් පාත්තියට වූයේ කුමක්ද යන්න බැලීමටයි. ඔහු සිතූ පරිදිම උයන් පල්ලා රෝස පාත්තිය වනසමින් සිටියේය. වීසි කැත්තක් ගෙන රෝස පඳුරු අනුකම්පාවෙන් තොරව ගසා දයි. රෝස පඳුරු ඉහළින්ම ගොස් වැටේ. රෝස පඳුරු ගැලවී ගිය තන්හි උණු ලේ උල්පත් මතු වී පෙනේ. දැඩි කෝපයට පත් ඇළපාත වීසි කැත්ත උදුරාගෙන එයින් උයන් පල්ලා ගසා දැමීය. දෙකට කැපී ගිය උයන් පල්ලා තවත් රෝස මලක් වී රෝස මල් ගොන්නටම මුහු වී නොපෙනී ගියේය. ඇළපාත දිවගෙන ආවේ ගජමන් නෝනා හමුවන බංකුව වෙතයි. තුරු සිදුරෙන් රිංගා ඇතුළු උයනට වන් ඇළපාතට ගජමන් නෝනාගේ කහ පැහැති සාරියේ කොණ දිස් විණි.

වහ වහා ඇය වෙත ගිය ඇළපාත අසුන් ඉදිරියට ගියේය. ගජමන් නෝනා නිසලව සිටියි. ඇය මිය ගොස්ය! වරෙක් ඇත් දත් පැහැ ගත් සිරුර දැන් දුර්වර්නව ගොස්ය. පුවඟු මල් සුවඳ මුසු කල සිරුරින් ගත් සිරුරින් දැන් දුර්ගන්ධය පිටවේ. මැසි කැළ ඈ සිරිර වටා හක්කලන් කරයි. එහෙන් මෙහෙන් ඉහඳ පණුවෝද සිටිති. සිය බඩ බොකු එළියට ඇද දැමීමට තරම් පිළිකුළකින් ඇළපාතගේ සිත පිරී ගියේය. හදිස්සියේම ගජමන් නෝනා තිගැස්සී දෙනෙත් හැර බැලීය. භයෙන් ත්‍රස්ත වූ ඇළපාත පසු නොබලාම වැටි වැටී දුවන්නට විය. ගජමන් නෝනාගේ මුවෙහි කපටි සිනා රැල්ලක් ඇඳී තිබිණි . . . .

- - - - - - - - - - - - - - - - - - - -
මේ මල් උයනට මා පිවිසියේ ඇළපාත සහ ගජමන් නෝනා ඇසුරින් කවි පබැඳීමටයි. නමුත් මගෙ කවියේ මුලක් හෝ අගක් නොමැත. ඇළපාතත්, ගජමන් නෝනාත්, වෙන කොහේ හෝ හමු වනවා විය යුතුය.


. . . . . . . . .

. . . . . . . . .
. . . . . . . . .
. . . . . . . . .
සීත නිල් වන පෙතේ
තුරු ලතා මඩුල්ලේ
පිපී ගිය එකම එක
මදාරා මල මගේ . . .
මේ කුලෙන් වැසී ගිය
ගිරි ශිඛර වළල්ලේ
හුදෙකලා කොණක පිපි
වන මලකි නුඹ මගේ . . .
තුරු වදුළු ලිය මඬුළු
සරන තනි බමරින්දු
එක කටට ගිල දමන
බඳුරාවයි මගේ . . .
. . . . . . . .

. . . . . . . .
. . . . . . . .
. . . . . . . .

 

කවිඳිය හා කවිය

මල් මුතු දමක් සේ ගැලපෙන සුමුද වදන් පත් ඉරුවක ලියා කවියක හැඩය අරන් එළිවැට එළි සමය දෙපසින් එකට අරන් පද වැල් ගොතා ඇත රස හව් තුරුලු කරන් සක්කා ප...