Pages

Monday, March 30, 2009

පතිවත (1)

මල නොතලා රොන් 
ගනී මෝඩ බමරා

මානව හිමිකම්

කැපූ බොටුවෙන් පෙරෙන
ලේ තැවරු කඩුවක්
කෑගෑයේය
“අනේ, මං කඩතොලු වෙලා”

රාජ්‍ය සේවය

පිට කැසුම
දිය යට ගින්දර
දිය රෙද්දෙන් 
බෙලි කැපුම
බ්ලේඩ් . . . කිණිසි . . .

පතිවත (2)

පිපුණු මල් කැමති
තලා රොන් ගන්නවට ද?
නොතලා රොන් ගන්නවටද?

උකුණන්

ඒයි බලාපන් . . .
මම ඉන්නෙ කොච්චර උඩ ද?
මගේ ඔළුවේ උකුණෙක්
කීය මා ප්‍රේමිය හිස වු
උකුණකුට .

තැලීම

තලන තරමට
ගඳ පැතිරෙයි
කිඩාරම් මලෙත්

සංවාද

කථා . . කථා . .
තවත් කථා . . . .
නැවතත් කථා . . .
විසිර ගියහ සභා තුමූ
සතුටින . . .

අවවාද

එළවපන් නරියා
ඔවදන් දෙන්න පළමුවෙන්
පඳුරු ගානේ යන
කිකිළියට . . .

පතිවත

මිහි මතෙන් වඳව ගිය
සැම දාම සොයා යන
යහන මත සිඳී යන
අරුම පුදුම විජ්ජාව

බලාපොරොත්තුව

සැම දේම නැතිවෙද්දි
සැම වේලෙ ඇති වෙලා
සැම දාම පවතිනා
දේකි සදා නොමියෙනා

මෝඩයා

එකට එකක් 
සේල් දෙන තැනකින්
ගත්තා මං
මෝඩයෙක්

රාත්රිය

සුන්දර රාත්‍රියකි මනරම්
යළි නොඑන ගෙවී යන
තරිඳු කිරණත් හෙමින් ඇවිදින්
කවුළු දොර අස්සෙන්
යහනතේ හිස මතට වැටිලා
සුමුදු එළියෙන් මුව පෙනෙයි
ලංව වෙළිලා දෑත් පටලා
මුවෙහි උණුසුම සොයා යයි
තිසර තුඩු හිස ඔසවලා විත්
ඇඟිලි තුඩු මත තුඩු දෙවයි
රැහැයි නාදෙත් නිසල වී ගොස්
හදවතේ හඬ සවන පතුරයි
එපා රිවිඳුනි නැගී එන්නට
සොඳුරු රාත්‍රිය ගෙවී යයි

නගරය

කහ ඉරි හැකිලී දියවූ මාවත
පැළුණු වලා වියනට ඉහළින්
දිලෙනා සැඩ හිරු රැසින් තැවෙද්දී
රෝස මල් යහන් කොතැන සැදේවි ද
සිමෙන්තියෙන් කල මල් පිපුණාවේ


පවනක් නොහමන මහ නගරය මැද
කළු දුම් රොටු විත් පෙණහැලි හිර කර
දමනා වේලෙක හුස්ම පොද සොයා
පලා යන්ට වන වදුළු තියේවිද
කුළුණු සෙවණ යට සිසිල සදාවා


වසන්තයට පීදිලා නටා එන
එරබදු මල් වැල් කොහේ සොයන්න ද
කොවුල් ගීත හඬ වදුළු පුරාවට
පිළි රැවු පතුරා කෙදින ඇසේවි ද
කාක නාදයෙන් කන් පිරුණාවේ

ඇරැඹුම

අඳුරු හද ගැබ තුළින්
නැගී ගිනි පුපුරක් ව
නාඹ තල් කඳන් සා
වී දිලෙන මහ කල එළිය
ගොර අඳුර රජ කරපු
පහන් ටැඹ පාමුලට
තෙරපෙමින් ගලා එයි
සොමි සඳේ රැස් දහර
සඳ නොමැති ගණ රැයට
කොඳ කැකුළු මැලවෙමින
අවදි වෙයි මහනෙලක්
උදා රිවි රැස් යටින
ගිනි වදින හිරු සෙවණ
වියලි ගිය හද ඉමට
වලාහක පැමිණ ඇත
සෙනෙහසේ වැසි රැගෙන

නොදැනුම

වලාකූළු වියන අතරින් හිරු මල හිනැහෙයි
තම මොහොතින් වැසි දහරක් බිමට ඇද හැලෙයි
මන්දාරම් අඳුර මැදින් සිහිල් සුළං එයි
නුඹත් ඉතින් සමහර විට අහස වගෙ තමයි


ගස් වැල් මල් කැකුළු මතින මද නල දිව එයි
දාහෙන පීඩිත කරවා සුළං නිසල වෙයි
සුළි සුළඟක් වී අවුදින් මහ ගස් උදුරයි
නුඹත් ඉතින් සමහර විට සුළඟ වගෙ තමයි


පද පේළිය කියනා විට හද මල වැලපෙයි
ඒ එක්කම නැවත වරක් හදවත සනසයි
මදහස දනවන පේළිත් ඒ අතරට එයි
නුඹත් ඉතින් තේරුම් නැති කවියක් ම තමයි

වියැකී ගිය වසත් සමය

හන්තානේ කඳු මුදුනට පුර හඳ පායන වෙලේක
සඳ එළියෙන් කඳු නැහැවෙන අයුරු මහට නුඹ කියන්න
කඳු පිස ගෙන හමනා නල සිහිලෙන් සිත සනසා ගෙන
මා හා පිය මං කර ගිය මාවත මතක ද කියන්න


මහවැලියේ ගං දෑලේ තුරු වදුලුත් තව එලෙස ද
ඔය දෑසට එබී බලන් කියු ප්‍රේම ගී මතක ද
දෑත දෑත පටලාගෙන දුනු පාලම මත සිට ගෙන
මහවැලි දිය සමග ඇදෙන මල් පෙති ගැන්නා මතක ද


මල් යායේ පෙම් පහයේ නෙක පැහැයන් සිත දරාන
අඩ අඳුරේ ගීත ගැයෙන වළ මතක ද මට කියන්න
හිමිදිරියේ ජනේරුවේ නැගි මිහිදුම් සළු වගේ ම
හන්තානේ වසත් සමය වියැකී ගිය හැටි කියන්න
(1999)

පමා වී ආ වසන්තය

පාට පාට කොළ පිරී
බිම සරසන හේමන්ත යාමේ
කොළ හැලූනු මහ ගහක
සෙවනේ පිපී හිනැහෙන
බිම් මලක් හමු විය
පමා වූ වසන්තෙට පිපුනු

නව වසරකට පෙර

නව වසරකට පෙර මම ද නව යොවුන් තරුණයකු වීමි. මේ වනාහි හදිසියේ නෙත් ගැටී, හදිසියේ ඇරඹී, හදිසියේ වැඩී, හදිසියේ ම මිය ගිය මගේ කුළුඳුල් පෙම් කතාව යි. ගතින් තරුණ වුව සිතින් මා මහළු කල ඒ දෛවයේ සැමිටි පහරෙහි කතාවයි.


හිරු දෙවිඳු මහ වැරින් පායලා හිස මතින්
පුංචි පාන් බාගෙ බස් රියෙක හිර වෙලා
හමු වුණා අප දෑස පිරු පෙරුම් සපුරලා


ගිනි ගහන මද්දහනෙ වියළි සුළඟට හැරී
සිසිල් වූ අප හදෙහි පෙම් කවක් පද බැඳී
තනු සදා කොවුල් පෙළ තුරු මුදුනෙ හඬ නැගී


හිරු බසින රතු පාට පෑළ දිග ආකහේ
වෙරළ ඉම තනිවෙලා දෑස් තරු දිලී ඒ
සිප ගත්තු උණුසුමක් මෙදින වුව තව තියේ


මඳ සිසිල ගලා යන ඉල් මහෙක අටවකට
ආකහේ දිලී ගිය නෙක පැහැති තරු කැලට
ඇසුනා ද අප ගැයූ පෙම් ගීත එක්ව සිට


මුළු ලොවම නිදි වැදුණු සඳ මියෙන රුදු රෑක
වෙන් වෙලා මුළු ලොවින් ඔබ පාව ගිය ඈත
තනිව මා රුදු ලොවෙහි සදාකල් අමාවක

ඉකිබිඳුම

බොහෝ දෙන නෙත් හෙලා බලා හිඳිනා ලොවේ
හඬන්නට බැරිය මට උන් පැතුම් සුන්ව යේ
කඳුළු හංගා ඇසෙහි ඉවත බැලුමුත් රැයේ
තනිව හිඳිනා පැයෙහි ඒ කඳුළු වැල් නැගේ


බොහෝ බර දෙවුර මත වෙලා ඇත සිත ගිලන්
පැතුම් මල් පරවෙලා දුඹුරු පැහැ වී ගිහින්
අස්වැසිලි ලද සැණින් අතීතෙට පාවෙමින්
පැතුම් සුවඳෙහි අරුම විඳිමි පෑරුණු සිතින්


ගතෙහි වණ සුව වුනත් සිතෙහි වණ තව තියේ
නුඹ පහස නැති බැවින සිත් සොවින් තැවී යේ
අන් අතක නුඹ වෙළි රන් මුදුව පැළඳි යේ
වෛර නොකරමි ඉතින් තුටින් ඉන් නංගියේ

පාළුව

හිරු නොමැත - සඳු නොමැත
සුවහසක් තරු නොමැත
තනිව ගොස් අහස් ගැබ
පාළුවෙන් පිරැවිලා   
හිරු කිරණ - සඳ කිරණ
දස දහස් තරු කැකුළු
රැගෙන ඒවි ද ඒ අහස
කැල්මෙන් පුරවලා . . . .

වැසි නොමැත - ගං නොමැත
පිණි බිඳක් හෝ නොමැත
වියැළිලා පොළෝ තල
ඉරි තැලී පැලී ගොස්
වැසි පොදක් - ගං දියක්
රැගෙන ඒවි ද එබිම
නිල්ලෙන් පුරවලා . . . .

මල් නොමැත - රොන් නොමැත
හැළුණු පෙති හෝ නොමැත
පාළුවී සල් ගසම
මල් හැලී කොළ හැලී
මල් කැකුළු - රොන් රේණු
පිබිද ඒවිද ගස නැවත
සරසලා . . . .

වෙන්ව යාම

කඳුළු බිඳු ගලා ගොස් දෙතොල් ඉරි තැලී ගිය
සිනාවනු මිසක වෙන කුමකටද අප දෙනෙත
ගිනි වැදී දැවෙන රත් හිරු මඬල ඇතත් උඩ
අහසෙ ඉඩ බොහෝ ඇත වලාහක දෙවියනට


බිඳුණු බඳුනින් නොමැත පලක් දිය බොනු පිණිස
අප දෑත අපට ඇත හිසට සෙවණක් ලෙසද
අප දෙදෙන හමු වුනොත් ඈත දුර ඇති දිනෙක
සිනාසෙමු අප එක්ව ගෙවුනු ඒ අතීතෙට


කඳු මුදුන් පහත් බිම් පොළෝ මත පිහිටියද 
ගලන ගඟ පිටාරෙන් සියළු දෑ යට නොවෙද
අප දෙදෙන හමු වුනොත් ඈත දුර ඇති දිනෙක
සිනා කැන් උතුරවමු මතක් කොට අතීතය

Tuesday, March 24, 2009

සිරි පොද වැස්ස

මේ වහින්නේ එදා සිරිපොද වැස්සමයි
මැයි මල් පෙති පලසින් හැඩවුණු
නුඹයි මමයි එක් ව තෙත් වුණු
සොඳුරු සිරි පොද වැස්සමයි


මේ වහින්නේ එදා සිරිපොද වැස්සමයි
එකම කුඩයක සෙවණේ රඳනට
සිහින් සුළඟට තුරුළු කරගත්
පෙමෙහි සිරි පොද වැස්සමයි


මේ වහින්නේ එදා සිරිපොද වැස්සමයි
මැයි ගස් සෙවනේ වීදි කොනේ 
විඩාබර පෙම් සිතෙහි තෙත ලන
සොඳුරු මල් වරුසාවමයි
(2008)

ප්‍රියංගිකා

සන්තාපය දුක හැමදා පණ අදිද්දි ඇඳන් මතම
වැහැරී ගිය මිනිස් සිරුරු හති දමද්දි වට පිටාවෙ
දැති රෝදෙන් නිමැවී ගිය යන්තර ලෙස උන් බලද්දි
නුඹේ සිනා මල් පොකුරකි තුන් බිය සැරිසරන බිමෙහි


ඔසු මේසය තල්ලූ කරන් ඔසු බෙදනා සැඳෑ වෙලේ
මේසය මත හිස තියාන ගිමන නිවන අතරතුරේ
තේ එකකුත් හදා ඇවිත් දොඩමළු වන රෑ ජාමේ
කතා කරන නුඹ දෑසින් කියන රහස් සිතට දැනේ


කල් ගෙවිලා අප සමු දෙන දවස ළඟයි හිත කැළැඹේ
නුඹ දෑසින් කියූ රහස් සැබෑ නොවේ කුරිරු ලොවේ
අප එක්වී දොඩමළු වූ පැසේජයේ කොරිඩෝවේ
ප්‍රියංගිකා නුඹ නැහැ අද ඒ තැන් දැක සිත ලතැවේ
(2008)

පිස්සන් කොටුවේ පිස්සාගෙන්

උදේ හවා උන් දුවනව
ඉහළ පහළ නිමක් නැතිව
තට්ටු ගණන් හීන පුරන්
දුක් විඳිනව ඒ ගානට
මවා ගත්තු පැතුම් පොදිය
ඉටුවන තුරු ඇඟිලි ගනියි
මේ බිත්තිය වෙන් කරාවි
පිස්සො පිරුණු ඒ ලෝකය
(2008)

නිදහස් බයිලා

අනංමනං වෙබ් අඩවිය ලංකාවේ පටන් ගත් මුල්ම සිංහල ෆෝරමයන්ගෙන් එකකි. කවි හා සාහිත්‍ය නිර්මාණ පළ කරන්නට ගත් පළමු ෆෝරමය ලෙස අනංමනං අවිවාදයෙන් සැලකිය හැකිය. මමත්, බූන්දියේ කූඹියාත්, බෝදිනීත්, මම නොහඳුනන ප්‍රියංකර සහ බීට්ල් මෙම අඩවිය තුල උණුසුම් විවාද වල නියළුනහ. මෙය නොරිස්සූ එහි සමහර සාමාජිකයන් සහ සමහර මොඩරේටර්වරු අප නිර්මාණ කප්පාදුවත් කැලෑ පත්තර ගැසීමත් ඇරැඹූහ. සිතේ හටගත් කෝපය පද වැලකට පෙරලුනේ මේ අයුරිනි.

නිදහස ලැබිලා මල්ලි නිදහස ලැබිලා
තලූ මරන්න හරිම රසට නිදහස ලැබිලා
නියෙඟට දැවෙනා පොළොවට වැහි බිඳු ලෙසිනා
ශ්‍රැතියට අනුවා ගයමු නිදහස සමරා

හැම එකටම එකක් ලෙසයි උපත ලැබූයේ
තමන්ගේ ම කියන විටදි සතුටින් ඉපිලේ
සර්වරය සුද්දගේ මල්ලි අඩවිය අපගේ
පටුන සුද්දගේ නංගි ත්රෙඞ් ටික අපගේ

ඇත වැට කඩුළු සමහර වෙබ් වල නපුරු
නෑ වැට කඩුළු මේ අඩවියෙහි සුමිතුරු
නෑ අපහාසා පත්තර වල මෙන් දකිනා
නෑ සිත රිදුමා සුරපුර වේය මිහිපිටා

කවිත් ගීත් සුළු විහිළුත් එකපිට එන්නා
පරිගණකෙන් විකුම් පාන උපදෙස් ලැබෙනා
රටේ දැයේ ප්‍රශ්න වලට පිළියම් සොයනා
අනං මනං වෙබ් අඩවිය මතු මතු දිනෙනා

සුවඳ මල් වගේ පද වැල් එකිනෙක අමුණන
සැම දෙන අපි එක්ව ගයමු අප නිදහස ගැන
බයිල කියා පුද දෙමු අපෙ අනංමනං එක
නිවන් දකිත්වා අපගේ මොඩරේටර්ස් කැල

තාලය ඉස්සුවා - නන්දා මාලිනී ගේ නිදහස් බයිලා
(2008)

මළගම

පිච්ච මලින් සැදි මංගල යහනේ
විස කටු ඇතිරූ සෙයක් දැනේ
හදවත් පාරා ඒ විස කටුවෙන්
ගලන රුහිරු දුටුව ද හිමි සඳුනේ


දෙවැනි ගමන දින වතෙහි අඩුවු රත
දෙනෙතින් පිරිමසිනට සිදු වී
සුර පුර වැඩි මා මාමණ්ඩිය රුව
බිත්තිය තුළ වූ යමක් සොයයි


වරදෙහි නොබැඳෙන සීතාවන් ඇත
සළෙලූන් මිහිපිට නොමැති තුරා
සුදු පැහැයෙන් සැරසුණු මා ලොව
ඉරබටු තරුවත් මිලින වෙලා


එකට එක්ව හිඳ කූඩු තනන්නට
පැතූ පැතුම් සුළෙඟහි විසිරී
කිළිටි ඉතිරිය ද මා නුඹ ලෝකේ
පතිවත කිසිදා රකිනු නැතී
(2008)

රණ විරිදු

පණ රැක ගෙන ඉවරයි තව ටිකකින් පමා වුවොත් මේ ලංකාවේ
මිනිකන කොටියා ලංකා පොළොවෙන් කඩුගානෙමු රැක දෑ ආලේ
සිහල දමිළ මුස්ලිම් වූ දුහුනන් ලෙයින් පෙඟුණු උතුරේ පොළොවේ
අඩව් අල්ලනා ත්‍රස්තවාදියා පරදමු අප අත් බැඳ රාළේ


කිරි කැටි දරුවන් මන්නා පහරින් දෙපළු කලා මේ රුදු කොටියා
දණ බිම ඇන යාදිනි යදිනාවුන් වෙඩි පහරින් සැතපෙවු සැටියා
විසි වසරක සිට නිදහස ඉල්ලන දමිළ සිහල මල් පිබිදෙන්නා
ගිණි දණ්ඬේ මකුළුවන්ට සුබ නැත උතුරේ යුද ගිනි දැල් නැඟුණා


ජාතික ආලය සිත් වල රඳවා ඩොලර් කාක්කන් උල තියලා
වළලන්නේ කවද ද මහ කොටියා සිරි ලක් පොළොවේ හප්පාලා
ගිණි කෙළි මල් වෙඩි සිහි ගන්වාලා මල්ටි බැරල් අහසට විදුනා
රට වෙනුවෙන් දිවි පිදුව ද කම් නැත යුද විරුවන් සටනට වන්නා


ආකෘතිය ඉස්සුවා - පුරන් අප්පු කවි, සුනිල් එදිරිසිංහ
(2008)

ආදරේ

මුවරද පිරුණු මල් අතරෙහි නොදුටිමි මම ආදරේ
සඳ දිය දෙවුණු ගං දෑලක නොදුටිමි මම ආදරේ
කඳු වියනේ හරිත රටා අතරේ නොදුටිමි මම ආදරේ
තනි යහනේ හුදකලාව උණන කඳුල ආදරේ


සැණකෙළියේ මධු බඳුනේ පතුලෙ නොමැත ආදරේ
මහ මැදුරේ මුදු පලසෙහි පිය නොනඟයි ආදරේ
හිමිදිරියේ පහන් තරුව නොදනී ඒ ආදරේ
තනි වූ සිත් තුළින් නැගෙන දුක් ගීයයි ආදරේ
(2008)

මගේ කවිය

කවි නොවේ ඔබට මා ලියන්නේ
කඳුළු බිඳු පන්හිඳෙන් 
එකට එක් කර ලියන
ළසෝ ගී පද වැලයි ඇසෙන්නේ
කටුක වූ දුක් දරා 
විරහයෙන් ඉරි තැලූණු 
සිත පතුළ කළඹවා
පිබිදිලා නැගී එන රාවයයි
සය වසක් දුක් දරා 
වනපොත් ම කරන ලද
මහ පොත් හි පසු පිටෙහි
පද බැන්දු කව් පෙළෙන් හැඩවුණයි
ගී ලෙසින් නොවේ කව් ගැයෙන්නේ
සිත් ඉමෙහි ඇළ වේලි 
පුපුරුවා ගලා යන
සෝකයේ ජල කඳෙහි
ගිගිරුමයි ඔබට ඒ ඇසෙන්නේ
පෙදෙහි රස හව් සොයන
සුහදිනිය මේ අසා
රළු පරළු පද වැලට වෙනු කමා
(2008)
 

තනිකම

සඳ හිරුත් නොපෙනෙනා - මහ වනේ තනිවෙලා
සිතට නැත පාළුවක් - ඔබ සිතේ ඇති තුරා


වීදි කෙළවරට තෙක් - දනන් පිරී ගිය පුරවරේ
සිතක් ඇත තනි වෙලා - ඔබ එතැන නැති නිසා


කළු ගඟේ ඉවුර හිඳ - අඳුර පැතිරෙන පැයක
නැගෙන අඩ සඳ බලා - පදවැලක් ගොතන්නට


රැහැයි කිරි කිරිය මැද - බස්සකුගේ තනි නදින්
තනුව සදවා ගයමි - නුඹ නමින් ඒ ගීය
(2008)

බල්ලෝ

බුරති සඳ ඇති දාටත්
බුරති සඳ නැති දාටත්
(2008)

යදම්

දුබලයි
දුබලම පුරුකේ තරමට
සවිමත්
ප්‍රබලම පුරුකේ තරමට
(2008)

ආසාව

සඳට මම ආසයි
හිරුට වඩා
කළුවර රෑට පායලා 
එළිය දෙන නිසා
(2008)

විවාහය

නැති අයට 
පෙන්න පෙන්නා කන
ඇඹුල් මුත් ඉවත නොදමන
අඹ ගෙඩිය
(2008)

මී විත

”බොන්නේ ඇයි?”
”ලැජ්ජාවට”
”ලැජ්ජ ඇයි?”
”බොන නිසා”
(2008)

කඳුළු

ඉතින් බලාපන්
දුකටත් ගලනවා
සතුටටත් ගලනවා
(2008)

සොඳුරිය

පොලොවේ මුල් නැති
ගහම බදා ඉන්නා
උඩ වැඩියාව
(2008)

ආදරය

මා නිසා පිළිසිඳි කළලය
ඔහු වෙනුවෙන් පුදකළ විට
ගබ්සා විය
(2008)

වැනුම

දේදුන්නේ හැඩය දරන - දෙබැම දෙසම නෙත් හෙලාන
පිහාටුවක සුමුදු සුවය - කෙහෙ රැල්ලක සඟවා ගෙන
ඒ ලස්සන සිතට අරන් - පාට කතන්දර පොතක්ම
ඉතින් ගොතන්නම්


තරු එළියට සඳ එළියට - දිලෙනා ඔය දෑස බලන්
හත් දින්නත් තරු පොකුරට - ගීත ලියන්නම්
ඒ ගී තනු පද බන්දා - තරිඳු දිලෙන පුර පෝයක
නුඹට ගයන්නම්


නුඹ මා තුරුළට වදිනා - හැම වේලෙක ඒ උණුසුම
සිත අද්දර හැම දාටම - රඳවා ගන්නම්
ඒ උණුසුම අප එක් කළ - අදිසි රහස ලෙසින් සිතා
පෙමින් වෙළෙන්නම්
(2008)

Monday, March 23, 2009

ගැමුණු කුමරුනි

රණ භූමි සිසාරා - කඩොල් ඇතු පිට නැගී
හෙළ දෙරණ රකිනු වස් - වෙර දැරූ පෙර දිනේ
ගැමුණු කුමරුනි යළිත් - පැමිණෙන්න මේ දිනේ


රන් මසු පොදි පිටින් - මඩි ගහන දුදන කැළ
ඔබ රුහිරු ගත දුවන - හෙළ මවගෙ දරු පිරිස
බිලි දෙවති උන් රැකෙති - වනසමින් මව් දෙරණ


ඒ දිනේ ඔබ නැසූ - එළාර ද පැමිණ ඇත
ඔබ කල්හි මෙන් නොවේ - දුදන ගති බොහෝමැයි
මව් දෙරණ බෙදන්නට - උන්ට රජ කරන්නට


එදා දින වාගේම - යුද සෙන් ද පෙරට ගෙන
මව් බිමේ වැද සිටින - පරපුටුන් පන්නන්න
ගැමුණු කුමරුනි යළිත් - අප අතර ඉපදෙන්න

අසහනකාරයා දුටු කාලකණ්නි සිහිනය

කිසිවෙක් නැත පොත පතක් බලන්නේ - පසුවෙයි සැණකෙළි සුව විඳිමින්
අලසව සිටි අය සැවොම විභාගෙන් - සමත් උණා ගෞරව සමගින්
ඒ.සී. කරණිත මිනී කාමරේ - පිස එයි ඉමිහිරි මල් සුවඳක්
කෑම පැයෙන් පසු බුරුතු පිටින් විත් - මිනී සයන වට අරක් ගනී
කිරි පිටි සීනි ද පදමට මුසු කර - අවන්හලේ තේ සතයට දෙයි
සාදයකට සැරසුණාවු වැනි නෙක - රස බොජුනෙන් කුස පිරවෙයි
කඩුව පැත්තකට දමාලා - මවු බස වෙත යළි තැන ලැබිලා
ඉතින් ගැටළු නැත සීමාවන් නැත - කළු සුද්දන් ගියෙ රට පැනලා
නෑ කිසි බේදා ඇත සහයෝගා - මිහිපිට සුර පුරයයි මෙබිමා
මල් යායෙන් වැසි වදුළු පුරාවට - කුරුළු ජෝඩු නැත පෙම් කෙළිනා
බමරා තනි වී දුකෙන් තැවෙද්දී - මලක් ඇවිත් සිත් ළඟන් හිඳී
රුවැත්තියක් විත් ලකුණු අඩු වුවත් - මවෙතින් සෙනෙහස අයැද සිටී
අයුක්තියට නෑ කිසිදු ඉඩක් - උද්ඝෝෂණ කෙරෙතී ඒ වෙනුවෙන්
විමුක්තිකාමී අසූ නමයෙ මළ - සොයුරා නැගිටියි මිනී ඇඳෙන්
විච්ඡේදන කුටියේ සැතපීලා සිටි - සඳුන් ගසට සැත තැබූ සැණින්
(1999)

වැස්සට පසු

මඳ සුළඟ හා නටන මල් කැකුළු වන් දිවියෙ
පෙරඹරම කළු කරන් මේ කුළුත් දිව ඇවිත්
වැටුණු වැසි දිය දහර ගං වතුර ලෙස ඇවිත්
සුණු විසුණු කර ගොසින් මල් ගසන් එහි මලූත්


අඩි තබන පොළොව මත පෙරෙන දිය බිඳු විලස
කඳුළු බිඳු දිව ගියා මගෙ කොපුල් මතුපිටින
ඒ කඳුළු වියලිලා මහ පොළොව විලස අද
ඒ වුණත් හදේ තෙත ඇත තවම ඒ ලෙසින


ගං වතුර බැස ගිහින් සරු වෙලා මහ පොළොව
නව ගසක් ඇති වෙලා එහි මලූත් පිබිදිලා
සෙමින් ලංව බැලූ කලට එහි අරුත වැටහිලා
බාඳුරා පඳුරක් ය හදවතම වියැළුණා
(2001)

එපා එන්න

සුදට සුදේ වළාකුළක නුඹ සැඟවී බලා ඉන්න
මහ පොළොවට එන්න එපා නිරුදක කතරකි මේ බිම

කුරුල්ලන්ට නුඹ කියන්න මේ ඉසව්වෙ එපා එන්න
ගිජු ලිහිණින් පිරිලා ඇත කුරුල්ලන්ව ගසා කන්න

සුළං සමග පාවී එන නුඹේ සිතුම් මට ද දැනේ
වැළපිල්ලෙන් සුසුම් වලින් පිරිලා ඇත වට පිටාව 


සමනල් පෙළ ආවෝතින් දේදුන්නේ පාට රැගෙන
සමනළයකු දැක තුටුවෙමි කෘමිනාශක පෙඟුණු බිමෙක
(2008)

ඔබ දුරයි

දුරක ඇතත් අප දෙදෙනා සිතින් තව ළඟයි
තුරුලිය ගොමු දකිනා විට සිත සෙමෙන් සැලෙයි
පෙර දා ලෙස විහඟ ගීත දෙසවන පුරවයි
ඒ ගීයෙහි මිහිර විඳිනු කෙලෙස ඔබ දුරයි


මලින් මලට රොන් කැන්දන බමර ගුමු ඇසේ
සියුම් සරින් සිත නළවා ඔබේ ගී වැයේ
සීත සුළං රැලි සියොළඟ හිරි ගඩු පිපුණේ
උණුසුම මා හට සදනට ඔබ ළඟක නැතේ


පපු තලයට තුරුළු කරන් විඳි ඒ සෙනෙහස 
හීනයක්ව මැවී පෙනේ උයනේ තුරු පෙළ
සංසාරෙන් සංසාරෙට ලබන්ට ඔබෙ අත
පහනක් දල්වමි මිදුලෙහි පහන් පැලෙහි අද
(2008)

සිහින ලොවින් සැබෑ ලොවට

නිල් අහසේ පියාඹලා - නිදහස විඳ සතුටු වන්න
කිරිල්ලියේ ළඟට එන්න - රිදෙනා තටු පිරිමදින්න
සිඳු ගැඹරේ කිමිදීලා - මුතු බෙල්ලකු රැගෙන එන්න
එහි තුල ඇති මුතු ඇටයෙන් - මුතුමාලය පළන්දන්න
හෙන්දිරික්ක මල් කුමරිය - වගේ සුවඳ දසත දෙන්න
හිරු කැන් ලෙස හිමිදිරියේ - දිව ගෙන එමි නුඹ දකින්න
දේදුන්නේ පාට අරන් - නුඹෙ අත්තටු හැඩ කරන්න
සමනළියේ මගේ ලොවට - සිනා කැකුළු අරන් එන්න
වියළි ගිය දිවි උයනේ - සිනා සෙමින් පිපී එන්න
වෙන මල් නැති නිසා ඉතින් - දිවි හිමියෙන් රැක බලන්න
(2008)

නාගරිකයාගේ ප්රථම ‍ප්‍රේමය

හිරු නැග එන අතර තුරේ මාවත් සෙනගින් පිරෙද්දි
අතොරක් නැතිවම දිවෙනා වාහන දුම් රොටු නගද්දි
ඉගිලී යන කපුටු රෑන් අතරින් මං පිය මනිද්දි
දුටුවා ඔබ මාවෙත මල් සුවඳක් රැගෙන එද්දි


මැයි ගස් පේළිය අතරින් වැහි සිරි පොද ඇද වැටිලා
මැයි මල් එක එක හෙමිහිට මුදු පලසක් ලෙස වැටිලා
සීත සුළං හමා ඇවිත් ඔබ කෙස් රොද සෙලවූවා
මගෙ මුල් පෙම සරසන්නට සොබා ලියත් එක් වූවා


මූදු වෙරළෙ සිතිජ ඉමේ හිරු කිරණත් මිය ඇදිලා
ගිනියම් වූ වා තලයත් ගිමන නිවන බව පෙනිලා
මේ හිරු ලෙස මියැදී ගිය මගෙ මුල් පෙම සිහි වීලා
තවමත් සෝ සුසුම් නැගේ කොළොම්පුරය නෙත ගැටිලා
(2001)

අවසන් විභාගය

මහා දුර කතරක් ගෙවා
බස් රියේ තෙරපිලා
හනි හනික ගෙට ඇවිත්
සරමකුත් ඇඳගෙන
වැසිකිළියට ගිය කලට
පිට වූ එකම එක
පඩය
(2003)

සෙනෙහස

හමා එමි හෙමි හෙමින්
හිමවු ගිර වන මතින්
එක් කරන් සුවඳ පොද
තවරන්ට කෙහෙ රැුලෙහි
පිරි මදිමි ලදළු වන්
සැලෙන හදවත ඔබේ
පිස හරිමි දුක් කඳුළු
සිනා රැළි මතුයේ
රෝස මල් සුවඳ දෙන
මතකයන් සිත දරා
ඔබේ සුවඳින් මැවුනු
සිහින ලොව ඉදිවයේ
දේදුන්න හැඩ කරන
සප්ත වර්ණයම ගෙන
හැඩ කරමි ඔබේ ලොව
පාට ගංගාවකින්
වැඩ නොගෙන ගලා යන 
සෙනේ ගඟුලින් බිඳක්
අමුණු තනවා හදේ
ඉතින් හරවා එවමි
(2006)

Saturday, March 21, 2009

මැයි ගස


කොල හැලී අතු පෙනෙන
පොතු හැලී දිරා යන
මඳ පවනකට වුවද
කිරි කිරිය පතුරුවන
සඳ පහන් වුණු රැයේ 
වවුල් තඩියන් ලගින
ඉර පිපෙන දහවලේ
කපුටුවන් පොර බදන
ගිරා කොවුලන් සැමට
අමතක ව අතැර ගිය
කුහුඹු ගණ බුත්තියට 
සවි වෙලා සුසුම් ලන
කඳට සවි බල ඇතත්
හදවතම දිරා ගිය
මාවතේ අද්දරෙහි
මියෙන මැයි ගසයි මම

(2006)

රුදුරු බව

වාඩි වෙමි උයන් තෙර - මධු බඳුන අත දරා
දරන්නට නොහැකි තැන - මේ රුදුරු පාළු බව
ඔඩම පුරවා ගනිමි - පෙණ නැගෙන සුරා විත
ඔසවලා එය සඳ වෙත - පුරමි සව්දිය
සෙවණැල්ල ද මගේ - පුරයි සව්දිය මා සමග
මමත් සෙවණැල්ලත් - සඳුත් අප තුන් දෙනෙකි
සඳු නොදනී බොන හැටි - සෙවණැල්ල මා තමයි
ඒ වුනත් අප තිදෙන - වන්නෙමු හොඳ මිතුරන්
දියව යන තුරු සෙවණැල්ල - පළමු අරුණැල්ලේ
සැඟව යන තුරු සඳු - අපර දිග අහස් කුස
නැති කලට කිසිවෙකුත් - මට කියන්නට මේ ලොවේ

ටු ෆූ ගේ කවියක් ඇසුරෙනි
(2006)

හීන

හීන පෙනෙනා විට දි සුව නින්ද අතර තුර
ඇස් පියා හිඳිමි මම හීනයේ සරමින් ම
දෑස හරිනා සැණින පරව යන මල් පොකුර
සම වේය හීනයන් අප සිතේ පිළිසිඳුන


ගොළු මුහුද නිසල වී හඬා වැලැපෙන හැඩයි
ලූණු රසට එන සුළඟ ඇත නැතද මට සැකයි
කැළණි ගං ඉවුරු තෙර වන නිල්ල මායිම යි
සියළු පැහැ සෝදාන යමෙක් ගෙන ගිය හැඩයි


සඳ හිරුත් තරු කැටත් අහස් ගැබ සරසාවි
මල් පිපී කුරුල්ලන් හැම දාම රඟ දේවි
නුඹට බැඳි පෙම මසිත සදා කල් පවතීවි
මගෙ සුරත නුඹ නමට කව් පෙළක් පබඳීවි
(2001)

කළු - සුදු - තළෙළු

ඇඟත් නැත - මොළෙත් නැත
වැඩත් නැන - සුදුත් නැත
උපයනා තුට්ටු දෙක
ගිනි වතුරෙ තම්බලා
විස දුමෙන් දවාලා
සුසුම් හෙලති ඉතින්
මීහරක් කම්කරුවො
ඇඟ වේවි කළ ගෙඩිය
අල ගෙඩිය සේ දිසෙන
හිස තුළ වු මොළ ගෙඩිය
අට පාස් සුදුම සුදු
කිරි කොක්කු වැඩක් නැති
සල්ලි මිටි කා දමන
මී හරක් ධනපතියො
දවස ගානේ වැරින්
වෙහෙසිලා උපයනා
සොච්චමෙන් කරවනා
දහසකුත් මන්දීර
මොළ ගෙඩිය ලොකු නිසා
තැවෙති උන් හැම දාම
තළ එලලූ පැහැ දරන
මැද පෙළෙහි සිහිනයන්
කළු රකින ජන බලය
සුදු රකින ධන බලය
තළෙළු පැහැ වුන් රකින
ආයුධය මොළ බලය
(2006)

නුඹ

තරු ලියන් පිරිවරා - සිත නමැති නුබ ගැබේ
පතුරනා මුදු එළිය - සඳවතිය නුඹ මගේ


තණ පත් වියන මත - පිණි දිලෙන පෙර යමෙක
පිපී සැඟවුණු රුවැති - කෞමදිය නුඹ මගේ


කෝල මස් කැල අතර - පිහිනනා සිඳු ගැඹර
පරයන සියළු අඟනුන - කින්නරිය නුඹ මගේ


හදවතේ මල’සුනේ - පරව යන මල් අතර
පර නොවී සුවඳ දෙන - සල් මලයි නුඹ මගේ
(2006)

නිමක් නැති කව

හිනැහියන් හීන තුළ - හැබෑවට නැති නිසා
තුරුලූ වී උණුසුමට - ඉස්සර දාක වාගේ ම
හිඳින්නට උකුළ මත - පිරිමදිද්දී හිස
සිහි කරගන් එදින - හිරු දැවුණු එ් උදය
පවුකාර බල්ලන්ගෙ (කොටියන්ගෙ)
ගිනිබටෙන් පනින ගිනි දැල්ල
ගිනි ජාලා ඇවිලිලා - අරගෙන ගියා උන්
එන්නේ කවදාද - දොර කඩුල්ලෙන්
මරා දැමූ පිය සෙනෙහස 
යන්නේ කවදාද නුඹ - මව් තුරුළට යළිත්
වන සපුන් රජ කරන - ගෙන්දගම් පොළොව මත
එඩි අරන් සිට ගනින්
මතක තියා ගන් සැමදා - හිරු දැවුණු ඒ උදය
සමාව නොදෙන් කිසිදා - ඒ අමන තිරිසනුන්ට


නිමිත්ත: මහ බැංකු බෝම්බයෙන් අනාථ වූ කුඩා දැරියක් වසර 11 කට පසුව ඒ ගැන අසයි. 

නොපෙනුමේ වෙනස

සුමනසිරි - මා දුටිමි නුඹ
නඩරාජා - මා දුටිමි නුඹ
හද තුළම අප අපගේ
ඇසළ කලබල මැවූ
ගම් නියම් කැති ගැසූ
යක්ෂයින් කොයි ගියෙද?
සබඳ අපි නොදනිම්හ
ඌ තුමූ කිසි දාක 
අප හදේ නොසිටියහ
වෙඩි ලන්නෙ නොමැත මා
මිය යන්නෙ නුඹ නිසා
යක්ෂයා වැජඹෙයි
වන්නි කැලයට ඇදී
කොන්ක්‍රීට් වනයෙන් වැසී
(2006)

නික්ම යාම

නවාතැනේ කල ගෙවිලා ඉවරයි
පිටව යන්න කාලය ඇවිදින්
ජීවිතයේ තව ඉමක් නිමා කර
සමුගෙන් යන්න ලඟයි


මසුරන් පොදි බැඳි 
නිසා ද මේ විට
කිත් යසසත් ලූහුබැඳ එන්නේ
විකුට ආත්මය වෙන්දේසියෙදී
මාගෙන් සදහට සමු ගත්තේ


අගුපිල් යහනේ සුවෙන් නිදාගෙන
ඉඳුල් දංකුඩය රස අහරක් කර
හිතවත් කම වලිගයේ කොණට ගෙන
මා දැක ගන්නද මේ ආවේ


මිනිස් මහ වනේ අතරමංව ගොස්
මග වැරදී යළි පලා යමි
සසල සිතින් මා සමුගෙන යන විට
කළ ගුණ නිසාද මේ ආවේ
හිතවත් කම වලිගයේ කොණට ගෙන
මා දැක ගන්නද මේ ආවේ
(2006)

X නම් හැඟීම (2 වන කොටස)

එය ඔබට අඬගසයි - යන්න පසුපස එම මගෙහි
ගොහොරු බිම් - කඳු ශිඛර පිරී ඇත ඒ මගෙහි
තැනිතලා දිය කඳුරු - මල් උයන් තරමටම
පියපතින් එය වසයි - යටත් වනු එය හට
මුදු උණුසුම තුළම - කැපෙන කග පත් ඇතත්
එය පැමිණ අඬ ගසයි - යනු මැනවි සවන් අදහා
මහ සුළං සේ ඇවිත් - බිඳලුවත් පැතුම් පොදි
ඔටුණු පළඳවන අත - කුරුසියෙත් ඇණ ගසයි
අහස් තල වෙත ඇදී - පිරි මදිත ඔබ ලදලූ ආදරෙන්
මුල් තුලටම වැදී - සොලවයි මුළු ගසම මහ වැරින්
එය ඇවිත් ඔබ වෙතට - එක්කරයි එය වෙතට
තලා මැඬ හොඳ හැටි - නොමැතිය වෙන අටියක්
එයම එය සපුරනු හැර
(2006)

වෛද්‍ය පීඨ ගීතය හෙවත් කඬේ යාම

උදේ හයට නැගිට ගන්න - බෝඩිම වෙත පිය මනින්න
නුඹෙ පොත් ගොඩ අතේ අරන් - නුඹ පස්සෙන් පිය මනින්න
ඒ යුගයට නැවත යන්න - නුඹෙ ආදරෙ මෙමට දෙන්න


දැනුම් සයුරෙ නුඹ ගිලෙද්දි - කැන්ටිම වෙත ඉගිල්ලෙන්න
ටී දෙකකුත් අරන් ඇවිත් - එක මේසෙන් ඈඳි ගන්න
ඒ යුගයට නැවත යන්න - නුඹෙ ආදරෙ මෙමට දෙන්න


දේශන වල වාඩි වෙලා - නිදි කිරද්දි ගජරාමෙට
නියපොත්තෙන් කොනිත්තලා - මිතුරො එක්ක හිනාවෙන්න
ඒ යුගයට නැවත යන්න - නුඹෙ ආදරෙ මෙමට දෙන්න


රෑ දහයේ කණිසම දෙස - ඇඟිලි ගැණල බලා ඉන්න
කාසි ගිලින යකඩ කටට - පහේ කාසි ගිල්ලවන්න
ඒ යුගයට නැවත යන්න - නුඹෙ ආදරෙ මෙමට දෙන්න


අමාරුවෙන් පෝලමෙ ඉඳ - ගත්ත නමුත් දුර කථනය
සුව නින්දක සැතපෙයි නුඹ - බයයි මෙමට කූද්දන්න
මටත් හිතුණ හැරිල එන්න - නුඹෙ ආදරෙ මෙමට දෙන්න


අමාරුවෙන් ගලප ගත්තු - නිසඳැස් කවියක් යැව්වම
බැචියන්ටත් එය පෙන්නල - ගොන් වැඩ ලෙස හඳුන්වන්න
මටත් ඇත්තෙ හැරිල එන්න - නුඹෙ ආදරෙ මෙමට දෙන්න
(2001)

නොහඳුනන ආදරය

ඇසළ මල් මතින් එන - මුහුණ පිස ගෙන හමන
අවුල් කරන ඔය කෙහෙ රැල්ල - මඳනල දැනුනා ද නුඹට
සුවඳ තියෙද මඳ නලෙහි - මසුරන් පිස හමන ?


වක්කඩ ලඟ ගලන් යන - දිය පාරෙ යස රුවට
දඟ කරන මාලූ පැටවු - දැනුනා ද කෙටුවා පුංචි මුවඬගින් 
මාලූ පැටවු සෙව්වා ද - අපේ කුල ගොත් ගැන ?


සඳ එළිය ගලා යන - හෙන්දිරික්කා මල් යායෙන්
ආවාද නැහැ පුඩු තුළට - වෑහෙන මනරම් සුවඳ
හෙන්දිරික්කා මල් දන්නව ද - අපේ උගත් කම් ගැන ?


කල් බලා පෙරුම් පුරා - හදවතට සිහිල දෙන
පිදූ ඒ ආදරය - දැනුනාද නුඹට එය
වෙන දේවල් දන්නවා ද - පෙමින් පිරි අපේ හදවත් ?
(2002)

පමාව

දෑස් කෙවෙණියෙහි දිලෙන කඳුළු කැට 
පිස ලන්නට ඔබ අසන සඳේ
හෙලා ඇති නිසා සයුරක් තරමට
කඳුළු නැත ඇසෙහි ඔබට පිසින්නට


හද ගැබ පතුලේ සුසුම් රැළිති පෙළ
සඟවන්නට සිහිනයක් වෙලා
හෙලූ සුසුම් රැල් එකට එකතු වී
කුණාටු සුළඟක් වුවද සැදේ


පැතුම් පොකුරු සිත් පතුලේ රඳවා
සැබෑ කරන්නට ඔබ සැරසේ
පැතූ පැතුම් පොදි වැලිකැට ලං වී
මහා මෙරක් තරමට උස් වේ
(2003)

අහිමි පෙම

සොඳුරු හිමිදිරිය යෞවනයේ
පිපෙන විටදි සැල මුතු පින්නේ
මලක් වීය මට ඔබ එසැනේ
මන් ද බමරු වී මා නාවේ


සොඳුරු ඇසින් දැක ගත් ඒ සිහිනය
නෙක පැහැ අඳුනින් සැරසූයේ
ඒ නව ලෝකය මා නෙත් අබිමුව 
පිපුණු මලේ නුඹ හැර පෑවේ


දිනා ගන්නට කිත් යසස් පොදි
සැදී එන්නට පෙරහරින් ගෙන
පලා ගිය මුත් මිනිස් වනයට
පිපුණු මලේ මට නුඹ සිහිවේ


පයට මිරිවැඩි හිසට ඔටුනු ද
පැළැඳ ආවත් මේ සඳේ
තවත් බමරකු මලට ගුලි වී 
පෙම් අමා රස පැන් පිරේ
(2001)

වසන්ත ගීතය

දැන් ඉතින් කොවුලනේ
නික්ම ගියා වසන්තය
නුඹ හැඬුවේ නැහැ නොවැ
එරබදු මල් සුවඳ
මොහොතකට සිත දරන්
රස සින්දු පද බැන්දු
එකම එක නිමේෂෙක
මහා වැස්සක් ඇවිත්
වසන්තයේ මල් කැකුළු
සේදිලා ඉහිරිලා
තටු පෙරවු කොවුලනුත් ගුලි වුණා
වෙණක් ලබන අටියෙන්ම
හඬන්නට බැරි නිසා 
ගී කියනු බැරි නිසා නොව
කපුටුවන් බොහො බැවින් . . .
ඉර නැවත පිබිදිලා 
දාස් පෙතියා මලක් වැනි
කිරණ පෙළ දිදුලවා
ගිම්හානය ඇවිත්
අකල් වැස්සට පසුව
දැන් ඉතින් කොවුලනේ
හඬපන් මේ ගිම්හානය
වසන්තය කර ගෙනම
මැයි මල් ද ඇසළ මල්
කිරුළු දරනා තුරු පෙළ
අතර පිය සල සලා
ගයාපන්න ඉතින
වසන්ත ගීතය
ඉඩ ලද ඉසිබුවේ . . .
එන්නට කලින් සැඩ සුළං
උදුරුවා ඇසළ මල්
නිරුවත්ව තුරු ලපළු
කිරුළු අහිමිවු රජුන්
අතු අතර ඉඳ
ගයනු කෙලෙස ද
වසන්ත ගීතය . . . ?
තරු කැරළි බිම වැටී 
පිණි දිය තුළ ගිලෙන
හේමන්ත තුෂාරෙක
නැවත සිහි ලබා
ගයන්නට වෙර දරපන්
නොගැයු එ් ගීතය
කහ පාට රතුපාට 
කොළ හැලෙන හේමන්තෙ
මඳ සිහිල කපාගෙන
ළසෝ ගී පද පෙළින් 
හදේ වෙණ තත් කකියවා
ගයන්නට නිදපන් . . .
ගෙවුනු ගොරබිරම් වසන්තය
සැඩ සුළං ගිම්හානය
බලා ඉඳපන් පිබිද
සුපෙම් ගී ගයන්නට
එන තුරා හේමන්තය
මඳ සිහිල් හේමන්තය . . .
(2005)

නින්නාද ගීතය

නින්නාදය වනාහි කොළඹ වෛද්‍ය පීඨයෙහි කලා හැකියාවන් එළිදක්වන රඟ මඬලයි. රටෙහි වූ බියකරු තත්ත්වයන් හමුවෙහි වසර 1999, එනම්, නින්නාදයෙහි සතරවන දිගහැරුම අපට අහිමි විය. සියළුම කටයුතු නිමවා තිබූ, කිසි දින දිග නොහැරි, නින්නාදයේ පිළිගැනීමේ ගීතය මෙලෙසින් මා අතින් ලියැවිණි.


අඬසඳ සුදිලෙන පසුයම් වේලෙක
සරස්වතිය වැඩ හිඳිනා මේ බිම
දූ දරු කැලගෙන් ඔබහට පුද දෙන
නින්නාදය සවනට ගෙන එන්නා


එකසිය විසිවස් කල් පැවතීලා
ජීවක කුලයට උපත සදාලා
ඔද්දල් ජීවිත පණ ගැන්වූ ලෙස
ඔද්දල් සිත් යළි පණ පොවමු


සත්සර හඬවන නව නළු නාටක
ගිගිරි ගීතයෙන් සරසන්නේ
නුදුටු විරාමය දෙනෙත පාන්නට
නින්නාදය මෙලෙසින් ඇරුඹේ
(1999)

ආවර්ජනා

ජීවිතයේ සැඩ පහරේ පාවෙන ඔරු දෙකක් වෙලා
හබල නැතිව නිසි මාවත යා ගනු නොහැකිව තැවෙනා
ඔබ මා හමු වූ ඒ හිරු ඉපදෙන හිමිදිරියේ 
හැමූ ඇල් පවන් තවමත් එලෙස හමනවා


ජීවිතයේ මද්දහනේ වියලි කතර අතරමංව
හසරක් නොම දැන සරනා විටදි දොම්නසින් තැවෙමින
ඔබ මා එක් වී වෙහෙසුන හිරු දැවෙනා සැඩ දහවල
අවුරැල්ලේ ඒ උණුසුම තවම දැනෙනවා


පාට පාට වලාකුළින් දවස ගෙවෙන හැන්දෑවේ
තෙරක් නොමැති ක්ෂිතිජය වෙත පියඹන විහඟක වීලා
ඔබ මට සමු දී සැඟැවුනු හිරු මියෙනා ඒ සැඳෑවෙ
මතක පොතේ සිතුවම් වල සුවඳ දැනෙනවා
(2002)

සියපතෙහි අතීතය

සිය පතක් කුඩමසුට මුතු කුඩය වී පිපී
සිය දහස් රොන් රේණු සුවඳ පතුරා ඇතී
නෙළා ගෙන දුනිමි එය නුඹ අතට සියුමැලී
පිරිසිඳුයි ආ නමුත් පොකුණු පතුලෙන් ඇදී


බිඳෙන් බිඳ ඇද දමා පතින් පත සිඳ දමා
පොකුණු දිය පිට රැඳෙයි පා වෙවී මල වටා
සියක් වූ පෙති අතර කිහිපයක් නැවතිලා
මතක් කර දෙයි බවක් තිබුණු විකසිත වෙලා


පෙති සිඳුණ මල් නටුව පොකුණු දිය ඉපිලෙමින්
පවසන්නෙ සියපතෙහි ඉරණමයි තද සොවින්
සිඳලූවත් සියක් පෙති සිතට එඩි ගෙන ඉතින්
සියපතය තවම එය සිඹ බැලූණු හද තුටින්
(2005)

ගංගා

තෙදින් ඇදි එන නිල්වන් දිය කඳ
කඳු මඬලේ සිට තරග නැගී
මිහි ගැබ තුරුලේ නිදන් වු මිණිකැට
සඟවා ගෙන සයුරට දිව යයි


දිගාමඩුලූ රන් කෙත් යායෙන් එන
රන් දහඩිය පොළොවට එක් වී
පරඬැල් පතුරුද දළු ලන මේ බිම
පියමන් කර දිය කඳ දිව යයි


බූටෑවේ රණ හඬ වියැකුණු මුත්
තේජස තවමත් සිතට දැනේ
ඒ සවිබල දිය කඳට පණ පොවා
ඉවුරු තලා මහවැලිය ගලයි


නුවර වැවේ තාවුල්ලේ හිඳ ඈ
හෙලූ කඳුළු වතුරට මුසුවී
ඒ කඳුළේ අදිටනින් එක් වැ හිඳ
බාධක මැඬගෙන යන ගමනයි
(2006)

උදානය

එම්බා වඩුව,
සදා අවසන්ය ගෙය මගේ
බලාපන් නුඹ දිහා
ආඩම්බරෙන් නුඹ
පුපුරන්නටත් ලඟයි නෙව!
වඩුවාණෙනි,
මේ ගෙය මගෙම වෙයි
නුඹ කීවට නුඹ හැදුවැයි
කඳුළු වතුරින් අනවා
වැලි ද මැටි ද එක්කර
ගොඩ නැගූ පදනම
දහඩිය වගුර වගුරා
ගලින් ගල එක්කර 
සැදු මේ බිත්තිය
නහර වැල් දිග දිවෙන
ලේ පවා සොලවලා
තැනූයේ කැණි මඬල
දැව දඬුත් ඔවලා
හිනැහෙයි නුඹ
පෙන්වා නුඹ ගෙහි වරුණ
මෙන්න බලාපල්ලා
මා හදන ගෙවල් හි අරුමය!
නුඹ කියයි ආඩම්බරයෙන්
තැනූ බව ගෙවල්
එකසිය විසිවස් පුරා
බිඳ දමනු නොහැකිය
මේ ගෙය මට
සිඳ දමනු හැකි ද
කැණිමඬල කිසිවිටෙක
ලෝකනාථයෙනි ඔබට මෙන්
තැනූ නිසා මේ ගෙය
දහඩියෙන්
කඳුලින්
රුහිරයෙන් . . .


නිමිත්ත: අවසන් වසර විභාගය (Final MBBS) ඉවරයි!
(2003) 

සරසවි සමය

හිරිපොද වැටෙනා වැස්සට 
එක සීරුව දුව ගෙන ගොස් 
මල් වැසසේ මල් පොකුරින් 
හිත සැරසූවයි


නිල් අහසේ වලා වියන 
සෙවණට අප එක් වීලා
හිත පුරාම අව් රැස්සක 
උණුසුම වින්දයි


පෝදා සඳ කිරණ පෙරෙන 
සොඳුරු සවස පියමන් කර
සල් සෙවණේ සල් පොහොට්ටු 
සුවඳ හැඳුනුවයි


කැකුළු පිපෙන සැණකෙළියේ 
මී විතකින් තරව බැඳුණු
සදාතනික සුවඳ දෙවන 
බැඳුම සිහිවුණයි
(2006)

සඳමාලිය

සඳකත් පිණිදිය උතුරා හැලෙනා
කිඳුරන් රඟ දෙන සොඳුරු රැයේ
ලපළු ලවැල්ලේ පා පොඩි ඔසවා
රඟන රැඟුම දකිනට ආවේ


මා බිම හෙලනට බඹදත් නිරිඳුගෙ
හී සර අනැවැසි වෙයි සොඳුරේ
වෙහෙසින් දුබල වූ කිඳුරා මම වෙම්
යුග ගීය ගයන්නට ආ ගමනේ


ගිගිරි ගීත හඬ සවන පුරාලා
වෙහෙස නිවීලා සතුට සැදේ
නුඹ සඳමාලිය නුඹ අත ගන්නට
කිඳුරා මෙලෙසින් පැහැද ඇතේ
(2004)

පොරොන්දුව

සුසුම් රළ රැලි ගැටෙන වෙරළේ
පහන් ටැඹ ලෙස ළඟින් ඉන්නම්
නැගෙන සුසුමන් මහද සඟවා 
සිනා පොකුරක් නුඹට දෙන්නම්


ලොවේ ගැරහුම් සැඩ කිරණ මැද
වන වදුලක් ලෙස පලූපත් බරවුණ
නැගෙන දාහෙන් මහද තවලා
සහන් සිසිලස නුඹට දෙන්නම්


කඳුළු වැස්සක් වැටෙන මොහොතේ
නවාතැන් පොළ ලෙසට ඉන්නම්
කඳුළු වැස්සෙන් මහද නහවා
මල් වැස්සක් නුඹ හට දෙන්නම්
(2006)

Thursday, March 19, 2009

යැදුම

මිය ගිහිපු සෙනෙහසක්
දුර ඈත අතීතෙක
ඉපදිලා නැවත එය
හද කොණක සැඟව ඉඳ


වින්ද වේදනාවන්
විරහ දුක් මුසු කෙරුණ
නැගෙයි ගිනි සිළු ලෙසින
තනිවෙනා ඉසිබුවෙක


අහිමි ආදරය ගෙන
හමු වුනේ ඇයිද අප
කඳුළු යළි නොනැගෙන්ට
මැකී යනු මතකයෙන
(2003)

සිහිනය

මටත් තිබුණා සිහිනයක්
දෙනෝ දාහක් දෙනා මැද්දේ - තනිවෙලා ඔබ සමග
කතා කරනට දෙනෙතින් - කිසිත් නොදොඩා මුවගින්


රන් පැහැ වළා පෙළ - දිදුලන සොඳුරු හැන්දෑවක
දෑත පටලා ඇවිද යන්නට - ඈත පෙනෙනා අනන්තය වෙත


කුරිරු ගොර සපු ලොවින් - කෙරෙන සරදම් රැසින්
නොතැවී එක්ව සිනාසෙන්නට - කිසිත් සිදු නොවු ලෙසින


විරහ දුක නිවන්නට - තරුපතිට සියොතුනට
පිදූ සෙනෙහස - බෙදා ගන්නට නුඹ සමග
මටත් තිබුණා සිහිනයක් . . .
(2000)

වෙනස

පිපුණු නිලූපුල් රැසෙක පැහැය ඇත වැඩි වෙලා
ඇදෙන රන් සමනළුන් නෙක රටා මවාලා
කුරුලූ ගී කිචි බිචිය මිහිරි තනුවක් වෙලා
ගීතයකි ජීවිතය කුමක් හෝ සිදු වෙලා


පෙර දිනෙක සවනහොත් වදන් නැත ඇසෙනුයේ
රොස් පරොස් වදන් වුව අසා සිත නොම තැවේ
මුළු ලොවෙහි සිනාවන් සමග මා සිනහ වේ
අරුමයෙකි අරුමයෙකි කුමක් දෝ නොතේරේ


ගැයෙන හැම ගීතයක ඒ හඬයි නැඟ එන්නෙ
දකින හැම රූපයක ඒ රුවයි මතු වන්නෙ
සිතන හැම මොහොතේම එකම සිතිවිලි එන්නෙ
ආදරෙන් වෙලීලා දැනුයි මට තේරෙන්නෙ
 (2005)