Monday, April 13, 2009

චීන ඌරා

“පෝලිම් පනින්නේ නැතුව ඉවසලා ඉන්නවා” ඇමතිතුමා ගේ ආරක්ෂකයා රැකියා බලාපොරොත්තුවෙන් පැමිණි පිරිසට කෑ ගැසීය. ”ගන්නෙ එක්කෙනානෙ”
සාලින්ද සිටියේ පෝලිමේ විසි වැනියාට ය. වේලාව එකොළහ ද පසු වී ඇත. සම්මුබ පරීක්ෂණය පටන් ගන්නා බැව් කියා තිබුණේ අටයි තිහට වුවත් ඇමැතිතුමා ඇතුළු පිරිස පැමිණයේ මොහොතකට කලිනි.
“හරි . . . පළමුවෙනියා ඇතුළට එනව” දොරටුව අසළින් විධානයක් නිකුත් කෙරිණ. පළමුවැනියා ඇතුළු විය.

සංස්කෘතික හා කලා කටයුතු පිළිබඳ ඇමතිතුමා ගේ උපදේශකයකු ගේ තනතුරට පත් කරගැනීමට අයැදුම් පත් කැඳවා තිබූ දැන්වීම සාලින්ද දුටුවේ සතියකට පෙරය. කලා උපාධිධරයකු වූ සාලින්ද සිරිපුර සිට පැමිණයේ රැකියාවක් සඳහා වූ අවසාන බලාපොරොත්තුවත් සමග ය. මෙවර රැකියාවක් නොලැබුණොත් තම මිය ගිය පියා විසින් කරන ලද සිල්ලර කඩය නැවත පටන් ගැනීමට ඔහු අදහස් කරගෙන තිබිණි.

 “මේ මිනිහා විනාශ වෙන්න යනවා” ගෝර්කි කීය. “මිනිහා යන්නේ අන්තිම නරක තැනකට,  ම් . . . බලමු . . . අන්තිම නරක තැනකට”
“අපි මිනිහට අවස්ථාවක් දෙමු” මෙවර කීවේ ශේක්ස්පියර් ය. “මේ වගේ මිනිස්සු තමයි ඉතිහාසය වෙනස් කරන්නෙ”
“අනික් කට්ටිය මොකද කියන්නෙ?” ඔහු නැවත ඇසීය.
“අවස්ථාවක් දෙමු” එක් හඬින් ඔවුහු කියා සිටියහ.
“මේ මිනිහා තෝරාගත් කීප දෙනාගෙන් අයෙක්. ඔහු නරකට යොමු නොකර තියා ගැනීම වැදගත්” ගෝර්කි ලෙස හඳුන්වා ගත් මිනිසා නැවත කීය.

පස්වරු එකට පමණ සාලින්ද ගේ වාරය උදා විණ.
“ඇතුළට එනවා” නැවත විධානය ලැබිණ.
“නම” සුදු ඇඳුමක් ඇඳ සිටි ඇමති තුමා ඇසීය.
“සාලින්ද අරුක්ගොඩ . . . සර්” අවසනට ආ “සර්” කෑල්ල එක් වූයේ රැකියාව ලබා ගැන්මට තිබූ තද වුවමනාව නිසාය. 
“ආ . . . ඉඳ ගන්නව”
“වයස”
“තිස් එකයි සර්” මෙවර අපහසුවකින් තොරව “සර්“ පදය පිට විණ.
“බැඳල ද?”
“නැහැ. රස්සාවක් ලැබුණොත් බඳින්න ඉන්නෙ . . . සර් . . .”
“පුහ් . . හහ් . . හහ් . . හා . . . .” බඩ මහත ඇමතිතුමා හිනා වෙන්නට පටන් ගති. “තමුසෙ ගොනෙක් ඕයි . . . බැඳලා ඉවර වෙලා ජීවිතේ ගැන හිතනවා” සාලින්දට මතක් වූයේ හිනාවිය හැකි ලොකු චීන ඌරෙකි.
“මොනවද සුදුසුකම්” සම්පූර්ණ බටහිර ඇඳුමෙන් සැරසී සිටි වැදගත් පෙනුමැති පුද්ගලයෙක් ප්රකශ්න කළේය.
“සර්, කලා අංශයේ ගෞරව උපාධියක් තියෙනවා. ඉංග්‍රීසි ඩිප්ලෝමාවක් තියෙනවා”
“පුහ් . . හහ් . . හහ් . . හා . . . .” ඇමැතිතුමා නැවත සිනාසිණි. “වෙන රස්සාවකට නං ඔය උපාධිය තුට්ටු දෙකේ එකක්. ඒවුනාට ඉංග්‍රීසි ඩිප්ලෝමාවට සලකන්න වෙනවා”
“වල් බල්ලා . . .” සාලින්ද සිතීය. “තොපි වගේ එවුන් තමයි කලා උපාධිධාරීන් මේ තත්ත්වෙට ගෙනාවෙ”
“ගම කොහෙද, මිස්ට අරුක්ගොඩ” වැදගත් පෙනුමැති පුද්ගලයා නැවත ඇසීය.
“සිරිපුර සර්, පොළොන්නරුවයි, දෙහි අත්තකණ්ඩියයි අතර” 
“පට්ට කැලේ නෙ ඕයි . . . පුහ් . . හහ් . . හහ් . . හා . . . .” චීන ඌරා නැවතත් සිනාසිණි.
“යකෝ මුගෙ ගම ඔක්කම්පිටියෙ ඉඳලත් හැත්ප්ම විසිපහක් දුර. මූ හිතන්නෙ නිකං කුරුඳුවත්තෙන් බැස්සා කියල” සාලින්ද ගේ සිත තුළ අදහස් පුපුරයි.
“මිස්ට අරුක්ගොඩ. සුබ පැතුම්. අපි ඔයාව තෝර ගත්තා. මේ කොළය අරන් ගිහින් ගණකාධිකාරීතුමාව හම්බ වෙන්න”
සාලින්ද ගේ සතුට හිස් මුදුනින් පිට විය. රුපියල් හත් දහසක ඇඳුම් දීමනාවක් ද ලැබී තිබේ. ඇමතිතුමා ළඟ වැඩ කරන විට ජැන්ඩියට ඇඳිය යුතු බව එතුමාගේ ලේකම් විසින් පැහැදිලි කර දෙන ලදී. දැන් ලෙඩින් ඉන්න අම්මාගේ බෙහෙත් වියදමින් කොටසක් දැරිය හැක. ගාමන්ට් එකේ වැඩ කරන නංගී ට දැන් ඇයටම කියා මුදලක් ඉතිරි කරගත හැකි වනු ඇත.

“ජීවිතේ අමාරුකම් ඉදිරිපිට මිනිස්සු තම හෘදය සාක්ෂිය පාවා දෙන්න වුනත් සූදානම් වෙනවා.“ ගෝර්කි කීය. “අපේ මිනිහා වාණිජත්වය ලිස්සන පල්ලමට වැටිලා ඉවරයි. ගොඩ එන එකක් නැහැ වගේ”
“උත්සාහ කරමු, තවමත් ඔහුගේ සිතේ මේ ක්‍රමයට විරුද්ධව විරෝධාකල්පයන් දැල්වෙනව. දවසක් ඒවා පුපුරලා එළියට ඒවි” බුල්ගාකොව් කීය.
“ඔක්කකොමලා බුල්ගාකොව්ලා නෙවෙයි.“ ශෙක්ස්පියර් කීය. “මෙතැනට එන්න නම් අපේ මිනිහට ගොඩක් අමාරු වේවි”
“මම කියන්නේ අපි තව ටිකක් ඉවසමු කියල“

සාලින්ද ගේ වැඩ එතරම් අපහසු නොවිණ. ඇත්තට ම ඔහු එම තනතුරට දක්ෂ වැඩි බව ඇමතිතුමා ද පිළිගත්තේය. විවිධ සංස්කෘතික උළෙල වල කරන්නා වූ කථා සැකසීම සාලින්ද ට භාර වූ ප්‍රධාන ම වැඩ කොටස විය. ඔහුට ඇමතිතුමා හමු වූයේ ඉඳහිට ය. නමුත් සාලින්ද අතින් පිළියෙළ වූ කථා ඉස්තරම් ම තත්ත්වයේ ඒවා විය. සහෝදර ඇමතිතුමන් ලා අන්දමන්ද ව යන සුළු කථා ඔහු විසින් ඉදිරිපත් කරන ලදී. අනෙක් ඇමති වරුන්ගේ නොමද ඊර්ෂ්‍යාවට ද ඔහු ලක් විය.
“ගුණේ, මාර වැඩ කාරයෙක් උඹ අරන් තියෙනවානෙ, කලා කාරයොත් හොල්මන් අර පොත් වලින් ගත්තු සාහිත්‍ය විචාර ගැන කියන කොට.” කෘෂිකර්ම ඇමතිතුමා වරක් මෙසේ කියනු සාලින්ද අසා තිබිණ.
“එහෙම තමයි මේ ගුණයා, හොයන්නෙ හොඳම ඒවා, පුහ් . . හහ් . . හහ් . . හා . . . . ” ඇමතිතුමා එවිට සිනාසුණි.

ජාතික කලා උළෙල ළඟ ළඟ ම එයි. එහි වැඩ කටයුතු සඳහා ඇමතිතුමා මේ දින වල නිතරම ගමනේ ය. 
“අයිසෙ, සාලින්ද, මේ සැරේ කලා උළෙල ට හොඳ කථාවක් ඕන. වෙනදා වගේ කථාව විතරක් නෙවෙයි මේ පාර අංග චලන වගේ දේවලුත් ප්‍රැක්ටිස් කරන්න ඕන. තමුසෙ තද කථිකයනෙ. මේ ටික කරල දෙනවා. මෙන්න උත්සවේ ට එන තද පොරවල් ටික. උන්ට වදින විදියට කතාව එන්න ඕන. තමුසෙ දන්නවනෙ, මං කලාව, සංස්කුරුතිය ගැන අකුරක් වත් දන්නෙ නෑ කියල“

ඇමතිතුමා කථාව පුහුණු වෙයි. සාලින්ද එහි වැරදි හදයි. 
“සර්, ගැඹුරු හඬ දිගටම තියා ගන්න. කෑ ගහන්න ඕන නැහැ.”
“හරි. හරි, ඕයි, මට නිතරම අමතක වෙනව මේක ස්ටේජ් එකක් නොවන බව”
ඇමතිතුමා ගේ දුරකථනය නාද වන්නට පටන් ගත්තේ මෙවිටය.
“ආ, ඩාලිං, ඔව් . . . මම එන්නං . . . මේ දවස් වල බිසී නෙ පැටියො . . . ඔව්, ඔව් . . . මගෙ වයිෆ් වස නපුරු ගෑනි කියල දන්නවනෙ . . . හරි, හරි . . . බායි . . .”
“අරය ද සර්“ ලේකම් ඇසීය.
“නෑ, නෑ, ඒක දැන් නාකියි නෙ. අර . . . අර . . . නිළිය . . . දන්නවනෙ . . . අරක” ඔහු කාන්තා රූපයක් දෑතින් ඇඳ දක්වමින් පැවසීය.
“සර් එයාවත් ඇල්ලුව ද? මාර ගණං දාගෙන නෙ හිටියෙ”
“මල්ලී . . . ඕන බඩ්ඩක් මේ ගුණපාල ඇමතිතුමා ගාව දණින් වැටෙනවා. ඕන එකක් දෙක දෙනකොට බිම” ඇමතිතුමා ජයග්‍රාහී ලීලාවෙන් පැවසීය.
“චික් විතරක් . . . මෙහෙම කුපාඩියෙකුට ද මම වැඩ කරන්නෙ?“ සාලින්ද සිතීය. මෙතැනින් පැන දිවීමේ බලවත් වුවමනාවක් සිත තුළ නැගෙමින් පවතී. එය යට කරගෙන ලෙඩ වුනු අම්මා ගේත්, වැහැරුණු නංගී ගේත් රුව නැගී එයි. “මේක දාලා ගිහින් මොනව කරන්න ද? ජීවිතේම හිඟා කන්න වෙයි. දෙයියනේ කියල ගේ දොර හදාගෙන ලස්සනට ඉන්නෙ මේ රස්සාවේ හම්බවෙන පඩිය හින්දනෙ”

“සර් . . . සර් . . . අපි මූව අල්ල ගත්ත. හෝල් එකේ හොරගල් අහුලනව” කෙසඟ සිරුරැති මිනිසකු ඔසවාගෙන ඇමති ආරක්ෂකයින් දෙදෙනකු පැමිනියහ.
“මූ මොකෙක්ද?” ඇමතිතුමා ඇසීය.
“මාධ්‍යවේදියෙක්ලු සර්”
“මොකෙක්? මාද්දිය . . . ”
“සර්, පත්තර කාරයෙක්, පත්තර කාරයෙක්“
”පත්තර කාරයෙක් . . . ඈ! පත්තර කාරයෙක්!”
“සර් ගෙ රිහසල් වල ෆොටෝ ගනිද්දි අහුවුණා”
“අයිසෙ මැක්ස්” ඇමතිතුමා යමකුට පැවසීය. “මූට දෙනවා නොම්මර හතළිස් හතරෙන්” අඩි හයකටත් වඩා උස මැක්ස් කෙසඟ මිනිසා කුදලාගෙන ගියේය. මොහොතකින් මර ළතෝනියක් ඇසිණි.
“හතළිස් දෙකයි . . .” ඇමතිතුමා කීය.
“මූ මිනී හතළිස් දෙකක් මරලා! අපොයි, මම මේ ඉන්නෙ කොහෙ ද? පණ පිටින් අපායෙ ද?” සාලින්ද තමන්ටම කියා ගත්තේය. පලා යාමේ අවශ්යතාවය දැන් තදින්ම දැනේ.
“කොහොම ද මැක්ස්?“
“සර්, දෙක දෙනකොට බිම”
“හරි, තමුසෙ යනවා . . . සාලින්ද, කොහෙ ද තමුසෙ පාවෙන්නෙ? දන්නව ද? මම ඊළඟට කරන්න යන වැඩේ? නිදහස් කලාකරුවො කියල කාලකණ්නි ටිකක් ඉන්නවනෙ. මම සමහර එවුන්ට පගා දෙනව. සමහර එවුන් ව හොරකම් වලට අහු කරනව. සමහර එවුන් ගාවට ගෑනු යවනව. අවුරුද්දක් යන කොට ලංකාවෙ ඔක්කොම ටීටර් කාරයො මගේ අල්ලෙ”
“අපොයි දෙයියනේ . . . මේක මට තවත් ඉවසාගෙන ඉන්න බැහැ. මූ පුදුම අපරාධකාරයෙක්. මට තවත් බැහැ . . .” සාලින්ද සිතීය.
“වල් බල්ලා . . . උඹේ අපරාධ වලට මම ඉන්නෙ නෑ” සාලින්ද කෑ ගැසීය.
“පුහ් . . හහ් . . හහ් . . හා . . . . මූට අමු කැවිල. මැක්ස් ට කියන්න මූටත් හතළිස් හතරෙන් ම දෙන්න කියල. මේ තමුසෙ මොන පණුවෙක් ද? තොල්ස්තෝයි, ගෝර්කි, කවුද අර තමුසෙගෙ චිත්‍රකාරයා, ඩා වින්චි, ඌ නෙවෙයි අර දොස්තරය . . . ඔව් . . . බුලගාකොව් ආවත් මං උං ඔක්කකොම සල්ලි වලට ගන්නවා. පුහ් . . හහ් . . හහ් . . හා . . . .” චීන ඌරා නැවතත් සිනා වෙන්නට ගති. 

මැක්ස් ඈත සිට එයි. 
”තොල්ස්තෝයි . . . ගෝර්කි . . . ශේක්පියර් . . . උඹලා කොහෙ ද?. කලාව විනාසයි. උඹලා මොනව කරනව ද?” 
හදිසියේම ගිගිරුම් හඬක් සමග ශාලාව අඳුරු විය. මැක්ස් උඩින්ම විසිවී ගියේ වහළයත් කඩා ගෙනය. රත් පැහැ මන්දාලෝකයක් සමග අහස ගිගිරුමකුත් ඇස් නිලංකාර කරන විදුලියකුත් කෙටීය.
”මම තොල්ස්තෝයි . . .” රුසියානු තාලයට හැඳගත් යමෙක් මන්දාලෝකය අතරින් ඇදී ආවේය. 
“මම ගෝර්කි . . . මම ඩාවින්චි . . . ” තට්ටය සහිත ඩාවින්චි වේදිකාව මතය. 
“මම ශේක්ස්පියර්“ තව අයෙක් පැමිණයේය.
වෙද නළාවකුත් සිරිංජි කටුවකුත් ගෙන සුරුට්ටුවකුත් කටේ ගසා ගෙන පස්වැනිව තව අයෙක් පැමිණියේ ය. 
“මිත්‍රයනි, පවුකාරයා අල්ලමු” ඔහු කෑ ගෑයේය. මුලින් පැමිණි හතර දෙනා ඇමතිතුමා ගලග්‍රයෙන් ගෙන බිම හෙළුවෝය.
“බුල්ගාකොව් . . . මේ යකාගේ මොළය දිය වෙන බේත දෙන්න” ගෝර්කි නම් වූ තැනැත්තා කීය.
බුල්ගාකොව් නමැත්තා යම් දුඹුරු පැහැ දියරයක් ඇමතිතුමා එන්නත් කළේය. 
“කලාව කවදත් නොමියෙයි. අත් පිටපත් කවදාවත් නොපිළිස්සෙයි” පස්දෙනාම එකවර කීහ.
නැවත ගිගිරුමකි. නැවත විදිල්ලකි. ශූන්‍යතාවය මැද සාලින්ද හිඳ ගෙන සිටියේය. ඇමතිතුමා, මැක්ස් හෝ ශාලාව පෙනෙන්නට නොවීය.

කල්හාර

"යුෂ්මතා ට මේ සම්බන්ධයෙන් කියන්නට ඇත්තේ කුමක් ද? වැරදිකරු ද, නිවැරදිකරු ද?”
“වැරදිකරු”
“මේ වරද සඳහා මරණ දඬුවම ලබා දිය හැකි බව යුෂ්මතා දන්නවා ද?”
“දන්නවා ස්වාමීනි. නමුත් මා මරන්නට බැහැ”
මොහොතකට උසාවිය ගල් ගැසී ගියේය.
“යුෂ්මතා තම ප්‍රකාශය පැහැදිලි කළ යුතුය”
“ස්වාමීනි මිය යන්නේ මා සිරුර පමණයි. අනෙක් කොටස් දැනටම මිය ගිහින්“
මෙවර වඩාත් දිගු කලෙකට උසාවිය ගල් ගැසී ගියේය. 

කල්හාර නිමලසිංහ යන නම ඇසූවන් බියෙන් තැති ගන්වන නමක් බවට පත් වූයේ පසුගිය වසර දහය තුළය. බිය යන්නා වු වචනය නොහඳුනන, කපටි නුවණැති, එතෙක් මෙතෙක් මෙරට සිටි දරුණුතම මිනී මරුවා කල්හාර ය. ගිනි අවියෙහි හුරුව, බලවත් සිරුර එමෙන් ම වැදගත් මහත්මයකු ගේ පෙනුම ද ඔහු ට තිබිණ. උසාවියේ දී ත්, වෛද්‍ය පරීක්ෂණයේ දී ත් ඔහු හා කථා කරන්නට මට හැකි විය. තියුණු සැතක් වැනි බුද්ධියක් ද, ඔහු සතු බැව් මට තේරුම් ගියේ එවිට ය. මෙතරම් බුද්ධිමත් මිනිසකු දරුණු අපරාධකාරයකු වන්නේ කෙසේ ද? නිමල දිය දහරක් වන් මේ මිනිසා, නියම් ගම් දෙගොඩ තලා යන ගං වතුරක් බවට පත් වූයේ කෙසේ ද? එය මට කිසි දිනෙක දැන ගත හැකි නොවනු ඇත. තමන් ට අනිවාර්යෙන්ම මරණ දඬුවම හිමි වන බව ඔහු දැන සිටියේ නඩු විභාගය පටන් ගන්නටත් පෙර සිට ය. කිසි දු හැඟීමෙන් තොරවම ඔහු එය බලාපොරොත්තුව පසු විය.

උසාවියේ පහන් අඳුරු කෙරිණි. විනිශ්චයකාර තුමා විසින් තීන්දුව ප්රනකාශ කරන ලදී. ඊට දින තුනකට පසුව ඔහු ප්රසිද්ධියේ එල්ලා මරනු ලැබීය. එල්ලුම් ගස දක්වා ගමන ද තවත් ගමනක් මෙන් ම ඔහු ගමන් කළේ ය. ඔහුගේ අවසාන ඉල්ලීම වූයේ ද එල්ලන විට මුහුණ වැසීම නොකරන ලෙසය. නමුත් එයට ඉඩ දෙන නොලදී.

අපරාධ මනෝවිද්‍යාගව පිළිබඳ ව මා සතු ලිපි ගොන්නට එකතු වූ විශේෂිතම ගොනුව මෙය විය. කිසිම ආකාරයකට මානසික ව්‍යාධියක් නොපෙන් වූ කල්හාර ගේ එකම වෙනස වූයේ අද්භූත වූ ශාන්ත ස්වභාවයයි. තව දුරටත් අධ්‍යනය කළ යුතු, එහෙත් නිදර්ශක නොමැතිව අත් හැර දැමූ, ලිපි ගොනුවට කල්හාර නිමලසිංහ ගොනුව ද එක් කෙරිණ.
“ඩොක්ටර්, මම කල්හාර ගැන හොඳට දන්න කෙනෙක්” හදිසියේ ම දිනක් මා කාර්යාලයට පැමිණි කාන්තාවක් මා හා පැවසූවා ය. මම ඈ දෙස බැලීමි. වයස තිස් පහක් පමණ ඇත. වයස විසි ගණන් වලදී ඉතාම රූමත් ව සිටින්න ට ඇත. ඇගේ අතේ වූ විවාහ මුදුව ගලවමින් දමමින් කාලයක් ගතවීම නිසා වෙඳැගිල්ල මත වූ සිහින් කරගැට මා දුටුවෙමි. නියපොතුද කොට වන්නට කපා ඇත. ඇය හෙදියක වන්නට ඇතැයි මට සිතුනි. ඔව් . . . නිදි මැරීම නිසා ඈ මෙලෙස වැහැරී යන්නට ඇත. 

“නර්ස් නෝන කෙනෙක් ද?“ මම අඩමානයට ඇසීමි.
“ඔව්”
“නිමලසිංහ ගැන කීවෙ?“

ඇය බිම බලා ගත්තාය. නෙතග නැඟුණු සිහින් කඳුලක් වැර වෑයමින් සඟවා ගන්නට ඇය අසාර්ථක උත්සාහයක යෙදුණාය.
“කල්හාර මම වැඩ කල රෝහලේ ඉංජිනේරුවරයා. ඔහුට ඖෂධවේදය ගැනත් සහතිකයක් තිබුණා. ඒ දවස් වල මුළු රටේම ඊ.සී.ජී මැෂින් හැදුවෙ කල්හාර. ඕනෑම දෙයක් ගලවලා බලලා නැවත ඒ විදියටම හදන්න එයාට පුළුවන්“
“මේ ගෑනි මගේ වෙලාව කනවා. මම මේවා දැනටමත් දන්නවනෙ” මම සිතීමි.
“මම දොස්තර මහත්තයගෙ වෙලාව නාස්ති නොකර මම දන්න දේ කියන්නම්“ ඇගේ දුඹුරු පැහැ නෙත දල්වා මා දෙස බලමින් ඈ කීය. මැය කල්හාර ගේ පෙම්වතිය වී සිටින්නට ඇත. ඇගේ දෑස දකින ඕනෑම අයකු ඇය වෙත අද්දවා ගන්නා ආකර්ෂණයක් එහි විය. 

“කල්හාර කියන්නෙ හරිම මුරණ්ඩු චරිතයක්. එයා මගේ පස්සෙන් එන්න ගත්තෙ ඔය කාලෙමයි. එතකොට මම මගේ පළමු පත්වීම ලැබිලා මාස හතරක් විතර. කල්හාර මට වඩා අවුරුදු තුනක් විතර වැඩිමල්. මම එයාව ගණන් ගත්තෙ නැහැ. පුරා අවුරුද්දක් සැරින් සැරේ මගෙන් ආදරේ ඉල්ලගෙන කල්හාර ආවා. අන්තිමට මම බොරුවක් ගොතලා කිව්වා මාව බඳින්න කෙනෙක් ඉන්නවා කියල.”
“ඇත්තටම ඒක එහෙම වුණා ද?” මම ඇසීමි.
“නැහැ. මම කිව්වෙ බොරු බව කල්හාර ඒ වෙලාවෙම දැන ගත්තා. දින කීපයකට පස්සෙ කල්හාර මා ළඟට ආවා.”
“මගේ ආදරේ විහිළුවක් කර ගැනීම ගැන බොහොම ස්තුතියි. මට ඔයා නැතිව ඉන්න බැහැ. ඉන්දීවරී අදින් පස්සෙ කල්හාර දකින්න ලැබෙන්නෙ නැහැ.”
“මෙහෙම කියල කල්හාර යන්න ගියා. ආයෙත් පහු වෙනිදා වැඩට ආපු නිසා මම හිතුවෙ කොල්ලන්ගෙ බොරු කතා කියන්නෙ එව්වට කියල“
“ඉතින්“
“දවස් දෙකකට පස්සෙ ඉස්පිරිතාලෙ දි කල්හාරට මොකක් ද කියපු මන්ත්‍රීතුමාගෙ මිනිහෙකු ගෙ මූණට කල්හාර ගැහුවා. මූණෙ ඇට ඔක්කොම කුඩු වෙලා ගිහින් තිබුණා. මීට කලින් කල්හාර කාටවත් බණිනවා පවා මම දැකල නැහැ. හැබැයි කැත විහිළු නම් නිතරම කළා” 

“මන්ත්‍රීතුමාගේ චණ්ඩි තුවක්කු අරගෙන ඉස්පිරිතාලෙට ආවෙ කල්හාර හොයන්න. කල්හාර ඕ.පී.ඩී. එකේ වහලෙ හැංගිලා හිටියා, හරියට මේ දේ වෙන බව දන්නවා වගේ. අන්තිමට ආපු චණ්ඩියාගෙ තුවක්කුව උදුරගෙන අට දෙනෙක් ට වෙඩි තිබ්බා. ඊළඟ හරිය ඩොක්ට දන්නවනෙ”
“ඔව්. ඊට පස්සෙ ආසියාවේ භයානකම සීරියල් කිලර් උනේ කල්හාර”
“කල්හාර කිව්ව දේ හරි. මගෙන් ආදරය ඉල්ලන් ආපු කල්හාර අන්තිමට මම දැක්කෙ එදා. ඊළඟට මම දැක්කෙ වියරු වෙච්ච යකෙක්”
“එතකොට මේ ආදර ප්‍රශ්නයක් හින්ද ද කල්හාරට මෙහෙම වුනේ?”
“ඩොක්ට. ඕනම කෙනෙක් ගෙ ආදරය විහිළුවට ලක් කරන්න එපා. ඒ අයට ඒ ආදරය කොච්චර වටිනව ද කියල අපි දන්නෙ නැහැ. අඩු ගණනෙ එක වරක් වත් එයා ආදරය කරන බව පිළි ගන්න“

හංස ගමනින් ඈ ඉගිලී ගියාය. ඒ ඉංජිනේරු කල්හාර ගේ මළ ආත්මයත් සමගය.

රාජාලිය

 රාජාලිය විදිලියක් මෙන් පියඹා ආවාය. ඇය කෙලින්ම මුවා වූයේ ගල් මිනිසාගේ දැවන්ත ශරීරයටයි. රාජාලිය පසුපසින් වේගයෙන් ඇදී ආ කැට මුගුරක් ගල් මිනිසා...