බට්ටිච්චෝ නුඹ දැක්කම මතක් වෙනවා පෙර කාලය
ඔය වාගෙම මට හිටියා පෙම්වතියක් කල ආලය
වාගෙයි ඈ ඇසළ මලක් හැඩ කරනා මැද සාලය
පළඳන්නට මං හිටියා මතු දවසක පෙම් මාලය
හයහමාරෙ බයිස්කෝප් එක බලලා සිනා වෙලා
සයිවර් කඩයකට ගිහින් තෝසෙ එකක් රස විඳලා
කඩල ගොට්ටකුත් අරගෙන මහ පාරේ තුරුළු වෙලා
ගෙදර එන්න සිහින මැව්ව නුඹ වාගේ කූඩු වෙලා
පුර හඳ පායලා දිලෙන පෝය දිනෙක බෝමළුවේ
පොල්තෙල් පහනක් දල්වා එක්ව ඉන්න සුපැතූවේ
සඳ පහනේ ජයට පිපෙන කුමුදු කැකුළු මල් ගොමුවේ
සුවඳ උරා සැනසෙන්නයි එදා දවස අප සිතුවේ
ඉසිබු නැතිව දිවෙන දිවි ගමනේ, මඳක් මනස සතපා ගන්නට, වයර් යාය මැද කොටුවූ සයිබර් ජාලගත හරසුන් අඩවි වලින් මිදී කව් වැලෙක සිත සතපන්නට, ගොඩ වැදී යන්න ඔබත් මෙහි.
Showing posts with label poems. Show all posts
Showing posts with label poems. Show all posts
Tuesday, December 22, 2015
Thursday, October 18, 2012
අතරමං වූ කවිය
කවක් ඇත හදවත කොණක
පිට වනු නොහැකිව
හදවතේ ගැඹුරුම තැනක
තිබුණු එළියෙන් මග සොයා
පිටවන්නට හැදුව
නිවී ගොස් ඒ එළිය
ගණඳුරුයි හදවතම
අතරමං වෙලා ඇත
ඒ කවිය හද කොණක
මග සොයනු වෙර දරයි
මහ වැරින් තඩි බායි
උරෝස්ථියෙන් කපාලයට
උඩ පනිමින්
ඉතින් සොඳුර,
ගෙන සැතක් විගහින්
එළියට ගනින් ඒ කවිය
මා සමග මිය යන්ට පළමුව
දැඩි වේවි ඒ කවිය
නුඹ ළඟම හැමදාම
හදවතේ සිරව ගිය
කවට මව් නුඹ බැවින
Friday, October 12, 2012
සුහදිනිය
හැම රක්ෂාවකම පුහුණු වීම් සමය ඉතාම දුෂ්කර වෙයි. නිතරම ජ්‍යෙෂ්ඨයන් ගේ තාඩන පීඩන වලට ලක් වෙමින්, කිසිදු අගය කිරීමකින් තොරව පැය 24 පුරාම වැඩ කළ සමයක් ද විය. වෛද්‍ය වෘත්තිය ද මින් නිදහස් නොවන්නකි. අපමණ දුක් කම්කටොළු විඳ, කුසට අහර පවා වේලාවට නොලබා ගත කල කාලය කා වෙනු වෙන් යෙදවූවාදැයි අපි නොදනිමු. සතුරු සෙන් බල මුළු ගැණුනු ලොවක කණිෂ්ඨ වෛද්‍යවරු ලෙස අප විඳි දුක් ගැහැට, සතුට, කඳුල මා හා බෙදා ගත්තේ නුඹයි. මිතුරියක් ලෙස සදා කල් නුඹ මා හදේ රැඳී සිටින්නේ ඒ නිසායි.
සුදු ඇඳුමින් සරසා ගෙන යන එන දහසක් අතරෙහි
ගිලනුන් ගේ ගිලන් ගතට සුවයක් සදනට වෙහෙසුණ
ජීවක වෙස් ගෙන දවසම නොනිඳා රැය පහන් කරන්
අපිට අපි ම පමණක් සිටි කටුක යුගය මතක් වෙලා
හීන් දුකක් හද කොණකින් පිටට පැමිණුනා
දුකයි සැපයි යස අයසයි සමව බෙදා ගෙන වැඩකල
හිත් පතුලේ ගැඹුරුම තැන තිබුණු සියලූ දේම පවා
දැන ගෙන අප අපෙ ජීවිත දෙසම මහත් සොවින් බලා
ඒ හැම දෙය සිනාවකට පෙරළා දුක අවසන් කල
කාලය හීනයක් වගේ හිතට දැනෙනවා
(2006)
Thursday, December 8, 2011
කවියාගේ suicide notes
ස්වාමීනි,
තනිව ආවෙමි
තනිව සිටියෙමි
විය සිදුරෙන් දකින
කණ කැස්බෑ අහස
අතැර යන්නෙමි
මහ සයුර වෙත
පැමිණි විලසම . . .
පිදූ මුත් පෙම පරම පිවිතුරු
සඳ එළිය සේ
පසන් හැඟුමෙන
රුවා පස තුළ එයින් බිජුවට
සැදී මහ ගසක්
මල් පල ද දරා ගෙන
සිඳ දමා එහි සිරස
අඹරවා තෙදැති කඳ
උදුරුවා මුදුන් මුල
බිම දැමී වනස්පතිය . . .
ගණඳුර කෑලි කපන
ඉතින් මේ අවසන් හෝරාවයි
දොරටුව අබියස
පැමිණ ඉන්නෙමි
මළ හෙයින් ආත්මයෙන්
බියක් නොදැනේ කිසි විට
අවසරයි ස්වාමීනි
මහෞෂධ වන් නැණැති
අසඩක් වන් තෙදැති
අසන්නට නිමිති නැති
නඩුවක් රැගෙන ආවෙමි
දෙන්නට දඬුවම් නොහැකි
මළ ආත්මය රැගෙන
ඉතින් අතැර යම් කණ කැස්බෑ අහස
විය සිදුරෙන් දකින . . .
(1998)
Sunday, April 3, 2011
වැස්ස
ඇතැම් වැහි මල් වැසි වෙයි. ඇතැම් වැසි දෝර ගලා යන ගං වතුර ඇති කරයි. ඇතැම් වැසි නව ජීවය ගෙනෙයි. ඇතැම් වැසි වේදනාව සෝදා හරියි . . .
වැහැපන් වැස්සේ වැහැපන්
සඳු හිරු තරු නිල් අහසත්
මේ කුළු තිමිරෙන් සඟවා
වියෝ දුකින් කම්පිත වූ
හදක් දරපු ඇස් දෙකකින්
ගලා ගිහිපු කඳුළු ලෙසින්
ඇළ දොළ ගං පිරී යන්න
වැහැපන් වැස්සේ වැහැපන්
ආදරයේ ඉඩෝරයට
ඉරිතලාපු හද මඬලට
අකලට ඇවිදින් හොරෙන්ම
නව දළු මල් පුබුදන්නට
වැහැපන් වැස්සේ වැහැපන්
(1999)
වැහැපන් වැස්සේ වැහැපන්
සඳු හිරු තරු නිල් අහසත්
මේ කුළු තිමිරෙන් සඟවා
වියෝ දුකින් කම්පිත වූ
හදක් දරපු ඇස් දෙකකින්
ගලා ගිහිපු කඳුළු ලෙසින්
ඇළ දොළ ගං පිරී යන්න
වැහැපන් වැස්සේ වැහැපන්
ආදරයේ ඉඩෝරයට
ඉරිතලාපු හද මඬලට
අකලට ඇවිදින් හොරෙන්ම
නව දළු මල් පුබුදන්නට
වැහැපන් වැස්සේ වැහැපන්
(1999)
Wednesday, March 23, 2011
සමු ගැන්මට පෙර
කොර වූවෙක් වන්නෙමි
දෑත දෙපයින් නොව සිතින්
වක්කොලූ නොන්ඩි මිනිහෙක්
සිතින් කොහොමද කොර වෙන්නෙ?
ඔබ අසාවි . . .
එක සොඳුරු දවාලක දුටුවා මා ඔබ
සොඳුරු කීවාට ගිනි ගහන මද්දහන
සිසිල් වුනා ඔබ දුටු විට
පිබිදුනා දහසක් සිතිවිලි
නිදා සිටි යෝධයකු ලෙස
හැරදමා ඉඳුරු දොරටු
ගැලූවා සිතිවිලි ගංගාවක්
සැදුනා හැඟුමන් දිය ඇල්ලක්
බොහෝ කාලෙකට පසුව . . .
නොදැන සිටියෙමි නමුත් ඒ සත්‍යය
නොදැන සිටියා නොවේ
නොවැටහුනා කීවොත් වඩාත් හරිය
එක් පසෙක පෙම් බැඳුම් පිණි බිදු සම බව
නැසී යන බව අසුරු සැණ ලෙස
දොස් කියන්නට එපා මා හට
ආලයෙන් අන්ධ වි සිටි නියාවෙන්
ඉවත බැලූවා ඔබ
පරණ කථාවම නැවතත්
වයිර බැඳි මහ බඹා සිටින තුරු කුමක් වේවි ද?
කඩා හැලූනා අඩ සඳ - අන්ධකාරය තුළට
තරු පෙළ ද දෙබෑ වි - ගිලූණි නුබ කුස තුළට
අකාල මේකුළු ඇවිත්
මේඝලතා විජ්ජුලතා සමග
වහිනවා වැස්සක්
සේදෙන්නට කඳුළු - නුඹ වෙනුවෙන් හලපු
හැර දාපු ඉඳුරු දොරටු
කල් මදිය වසා ගන්නට
දිව එන්නෙ ඒ තුළට සෝකයේ චණ්ඩ රළ
ගසාගෙන යයි ආත්මය - දිය රැළි සමග
වැටෙයි සිතිවිලි ගංගාවට
බොර පැහැ වතුර පිරි
ගලනවා දුඹුරු පාට දිය ඇල්ලක්
මොන තරම් අසුන්දර ද?
හැපෙයි නැවත නැවතත්
ජීවිතේ ඉවුරු වල
සිඳී බිඳී යයි - හැපෙන හැම වාරයෙම
දඬුවම් දෙන්නට නොහැක ඔබ හට
දඬුවමින් තවත් නොරිදෙන බැවින්
ඔබ රිදවනා මා හද
අවසරයි මා හට - හැර යන්න හැම දේම
හැර යන්ට සොඳුරු ලෝකය
තුරු ලතා පෙළ - පාවූ වළා යහන
ලංව සිටි සඳවතිය
සමුගන්න ඒ ලෝකයෙන්
සදහටම . . . .
(2005)
Tuesday, March 22, 2011
නෙලූ මල
මලක් පිපී ඇත යස රුවට
පෙති විදා අවදි වී
බිඟුන් මන් මත් ද වී
බලන්න ඒ මල දෙස
කැකුළකින් අවදි වී
බලන්න නැවතත් ඒ මල ම
නෙළා ගෙන ඇත එය
ආඩම්බරයෙන් දිලෙයි
සාලය මැද පෝච්චියේ
දුටුවන් කරමින් කුල්මත්
බලන්න නැවතත් ඒ මල ම
පෙති හැලී දුඹුරු වී
කුඩු හැලෙයි පැතලි වී
දෙස් දෙවොල් තබයි
නෙළා ගත්තහුට ඒ මල
බලන්න නැවතත්
මල දෙස නොවෙයි මේ වර
නෙළා ගත් දෑත දෙස
කටු ඇනී සිදුරු වී
රතු රුහිරෙන් වැසී
දවයි චේදනාවෙන්
මල් නෙලූ ඒ දෑත
බලන්න නැවත නැවතත්
ඒ මල, ඒ දෑත
ඒ කටු, රතු රුහිරය . . .
(2004)
Thursday, April 8, 2010
කලෙකට පසු
තුන් බියම සැරිසරපු මේ රුදුරු බිම් කඩෙහි
සිනා මල් ඉතිර වූ නුඹ මතක පොකුරු පොදි
තනි කරන් පෙර දිනෙක ගියෙම් මා ඉගිලිලා
ජීවිතේ දුර ඉවුරු දකින්නට තටු සලා
මරු කතර, ගිරි කඳුර අතර තුර පියාඹා
යනෙන කල එක්වන්න පෙරුම් පිරු ඈ සිනා
තුරුළු කර දුර ගෙවා කෙම් බිමක නැවතිලා
එක්වුනා ජීවිතේ දුර යන්ට රිසි නිසා
එක්ව යන ගමන තුල ඉසිබු ලන ඇසිල්ලේ
පැරණි සුවඳක් දැනී සිත හෙමින් සසැල්ලේ
තුන් බියම සරද්දී නුඹ එබිම තනිවෙලා
එන්ට සිතුනත් ඉතින් අහිමියි නුඹ සෑමදා
සිනා මල් ඉතිර වූ නුඹ මතක පොකුරු පොදි
තනි කරන් පෙර දිනෙක ගියෙම් මා ඉගිලිලා
ජීවිතේ දුර ඉවුරු දකින්නට තටු සලා
මරු කතර, ගිරි කඳුර අතර තුර පියාඹා
යනෙන කල එක්වන්න පෙරුම් පිරු ඈ සිනා
තුරුළු කර දුර ගෙවා කෙම් බිමක නැවතිලා
එක්වුනා ජීවිතේ දුර යන්ට රිසි නිසා
එක්ව යන ගමන තුල ඉසිබු ලන ඇසිල්ලේ
පැරණි සුවඳක් දැනී සිත හෙමින් සසැල්ලේ
තුන් බියම සරද්දී නුඹ එබිම තනිවෙලා
එන්ට සිතුනත් ඉතින් අහිමියි නුඹ සෑමදා
Tuesday, June 2, 2009
කඳුළු බින්දුව
මෙන්න කඳුළු බින්දුවක් . . .
මොන ඇහැකින් වැටුන ද?
සිංහල ද, දෙමළ ද, නැත්නම් මුස්ලිම් ද?
හිත පාරා රිදුම් දෙද්දි
හඬනා ඇසකින් වැටුන ද මන්දා . . .
පැතූ පැතුම් සඵල වෙලා
සිනා වෙද්දි සිත පුරවන්
සතුටට වැටුණ ද මන්දා . . .
යුද්දෙට ගිය සිය සැමියා
සීල් කරපු පෙට්ටියකින්
ගෙදරට ගේනා වෙලාවෙ
ඇගේ ඇසින් වැටුණ ද මන්දා . . .
සල්ලි ගරන උපායකට
අනුන්ගෙ දුක උකස් කරන
ඩොලර් කාක්කෙකුගෙ ඇසින්
කිඹුල් කඳුළු බිඳු විලසට
වැටුණද මන්දා . . .
මොන ඇහැකින් වැටුන ද?
සිංහල ද, දෙමළ ද, නැත්නම් මුස්ලිම් ද?
හිත පාරා රිදුම් දෙද්දි
හඬනා ඇසකින් වැටුන ද මන්දා . . .
පැතූ පැතුම් සඵල වෙලා
සිනා වෙද්දි සිත පුරවන්
සතුටට වැටුණ ද මන්දා . . .
යුද්දෙට ගිය සිය සැමියා
සීල් කරපු පෙට්ටියකින්
ගෙදරට ගේනා වෙලාවෙ
ඇගේ ඇසින් වැටුණ ද මන්දා . . .
සල්ලි ගරන උපායකට
අනුන්ගෙ දුක උකස් කරන
ඩොලර් කාක්කෙකුගෙ ඇසින්
කිඹුල් කඳුළු බිඳු විලසට
වැටුණද මන්දා . . .
Monday, March 30, 2009
රාත්රිය
සුන්දර රාත්‍රියකි මනරම්
යළි නොඑන ගෙවී යන
තරිඳු කිරණත් හෙමින් ඇවිදින්
කවුළු දොර අස්සෙන්
යහනතේ හිස මතට වැටිලා
සුමුදු එළියෙන් මුව පෙනෙයි
ලංව වෙළිලා දෑත් පටලා
මුවෙහි උණුසුම සොයා යයි
තිසර තුඩු හිස ඔසවලා විත්
ඇඟිලි තුඩු මත තුඩු දෙවයි
රැහැයි නාදෙත් නිසල වී ගොස්
හදවතේ හඬ සවන පතුරයි
එපා රිවිඳුනි නැගී එන්නට
සොඳුරු රාත්‍රිය ගෙවී යයි
යළි නොඑන ගෙවී යන
තරිඳු කිරණත් හෙමින් ඇවිදින්
කවුළු දොර අස්සෙන්
යහනතේ හිස මතට වැටිලා
සුමුදු එළියෙන් මුව පෙනෙයි
ලංව වෙළිලා දෑත් පටලා
මුවෙහි උණුසුම සොයා යයි
තිසර තුඩු හිස ඔසවලා විත්
ඇඟිලි තුඩු මත තුඩු දෙවයි
රැහැයි නාදෙත් නිසල වී ගොස්
හදවතේ හඬ සවන පතුරයි
එපා රිවිඳුනි නැගී එන්නට
සොඳුරු රාත්‍රිය ගෙවී යයි
නගරය
කහ ඉරි හැකිලී දියවූ මාවත
පැළුණු වලා වියනට ඉහළින්
දිලෙනා සැඩ හිරු රැසින් තැවෙද්දී
රෝස මල් යහන් කොතැන සැදේවි ද
සිමෙන්තියෙන් කල මල් පිපුණාවේ
පවනක් නොහමන මහ නගරය මැද
කළු දුම් රොටු විත් පෙණහැලි හිර කර
දමනා වේලෙක හුස්ම පොද සොයා
පලා යන්ට වන වදුළු තියේවිද
කුළුණු සෙවණ යට සිසිල සදාවා
වසන්තයට පීදිලා නටා එන
එරබදු මල් වැල් කොහේ සොයන්න ද
කොවුල් ගීත හඬ වදුළු පුරාවට
පිළි රැවු පතුරා කෙදින ඇසේවි ද
කාක නාදයෙන් කන් පිරුණාවේ
පැළුණු වලා වියනට ඉහළින්
දිලෙනා සැඩ හිරු රැසින් තැවෙද්දී
රෝස මල් යහන් කොතැන සැදේවි ද
සිමෙන්තියෙන් කල මල් පිපුණාවේ
පවනක් නොහමන මහ නගරය මැද
කළු දුම් රොටු විත් පෙණහැලි හිර කර
දමනා වේලෙක හුස්ම පොද සොයා
පලා යන්ට වන වදුළු තියේවිද
කුළුණු සෙවණ යට සිසිල සදාවා
වසන්තයට පීදිලා නටා එන
එරබදු මල් වැල් කොහේ සොයන්න ද
කොවුල් ගීත හඬ වදුළු පුරාවට
පිළි රැවු පතුරා කෙදින ඇසේවි ද
කාක නාදයෙන් කන් පිරුණාවේ
ඇරැඹුම
අඳුරු හද ගැබ තුළින්
නැගී ගිනි පුපුරක් ව
නාඹ තල් කඳන් සා
වී දිලෙන මහ කල එළිය
ගොර අඳුර රජ කරපු
පහන් ටැඹ පාමුලට
තෙරපෙමින් ගලා එයි
සොමි සඳේ රැස් දහර
සඳ නොමැති ගණ රැයට
කොඳ කැකුළු මැලවෙමින
අවදි වෙයි මහනෙලක්
උදා රිවි රැස් යටින
ගිනි වදින හිරු සෙවණ
වියලි ගිය හද ඉමට
වලාහක පැමිණ ඇත
සෙනෙහසේ වැසි රැගෙන
නැගී ගිනි පුපුරක් ව
නාඹ තල් කඳන් සා
වී දිලෙන මහ කල එළිය
ගොර අඳුර රජ කරපු
පහන් ටැඹ පාමුලට
තෙරපෙමින් ගලා එයි
සොමි සඳේ රැස් දහර
සඳ නොමැති ගණ රැයට
කොඳ කැකුළු මැලවෙමින
අවදි වෙයි මහනෙලක්
උදා රිවි රැස් යටින
ගිනි වදින හිරු සෙවණ
වියලි ගිය හද ඉමට
වලාහක පැමිණ ඇත
සෙනෙහසේ වැසි රැගෙන
වියැකී ගිය වසත් සමය
හන්තානේ කඳු මුදුනට පුර හඳ පායන වෙලේක
සඳ එළියෙන් කඳු නැහැවෙන අයුරු මහට නුඹ කියන්න
කඳු පිස ගෙන හමනා නල සිහිලෙන් සිත සනසා ගෙන
මා හා පිය මං කර ගිය මාවත මතක ද කියන්න
මහවැලියේ ගං දෑලේ තුරු වදුලුත් තව එලෙස ද
ඔය දෑසට එබී බලන් කියු ප්‍රේම ගී මතක ද
දෑත දෑත පටලාගෙන දුනු පාලම මත සිට ගෙන
මහවැලි දිය සමග ඇදෙන මල් පෙති ගැන්නා මතක ද
මල් යායේ පෙම් පහයේ නෙක පැහැයන් සිත දරාන
අඩ අඳුරේ ගීත ගැයෙන වළ මතක ද මට කියන්න
හිමිදිරියේ ජනේරුවේ නැගි මිහිදුම් සළු වගේ ම
හන්තානේ වසත් සමය වියැකී ගිය හැටි කියන්න
(1999)
සඳ එළියෙන් කඳු නැහැවෙන අයුරු මහට නුඹ කියන්න
කඳු පිස ගෙන හමනා නල සිහිලෙන් සිත සනසා ගෙන
මා හා පිය මං කර ගිය මාවත මතක ද කියන්න
මහවැලියේ ගං දෑලේ තුරු වදුලුත් තව එලෙස ද
ඔය දෑසට එබී බලන් කියු ප්‍රේම ගී මතක ද
දෑත දෑත පටලාගෙන දුනු පාලම මත සිට ගෙන
මහවැලි දිය සමග ඇදෙන මල් පෙති ගැන්නා මතක ද
මල් යායේ පෙම් පහයේ නෙක පැහැයන් සිත දරාන
අඩ අඳුරේ ගීත ගැයෙන වළ මතක ද මට කියන්න
හිමිදිරියේ ජනේරුවේ නැගි මිහිදුම් සළු වගේ ම
හන්තානේ වසත් සමය වියැකී ගිය හැටි කියන්න
(1999)
පමා වී ආ වසන්තය
පාට පාට කොළ පිරී
බිම සරසන හේමන්ත යාමේ
කොළ හැලූනු මහ ගහක
සෙවනේ පිපී හිනැහෙන
බිම් මලක් හමු විය
පමා වූ වසන්තෙට පිපුනු
බිම සරසන හේමන්ත යාමේ
කොළ හැලූනු මහ ගහක
සෙවනේ පිපී හිනැහෙන
බිම් මලක් හමු විය
පමා වූ වසන්තෙට පිපුනු
නව වසරකට පෙර
නව වසරකට පෙර මම ද නව යොවුන් තරුණයකු වීමි. මේ වනාහි හදිසියේ නෙත් ගැටී, හදිසියේ ඇරඹී, හදිසියේ වැඩී, හදිසියේ ම මිය ගිය මගේ කුළුඳුල් පෙම් කතාව යි. ගතින් තරුණ වුව සිතින් මා මහළු කල ඒ දෛවයේ සැමිටි පහරෙහි කතාවයි.
හිරු දෙවිඳු මහ වැරින් පායලා හිස මතින්
පුංචි පාන් බාගෙ බස් රියෙක හිර වෙලා
හමු වුණා අප දෑස පිරු පෙරුම් සපුරලා
ගිනි ගහන මද්දහනෙ වියළි සුළඟට හැරී
සිසිල් වූ අප හදෙහි පෙම් කවක් පද බැඳී
තනු සදා කොවුල් පෙළ තුරු මුදුනෙ හඬ නැගී
හිරු බසින රතු පාට පෑළ දිග ආකහේ
වෙරළ ඉම තනිවෙලා දෑස් තරු දිලී ඒ
සිප ගත්තු උණුසුමක් මෙදින වුව තව තියේ
මඳ සිසිල ගලා යන ඉල් මහෙක අටවකට
ආකහේ දිලී ගිය නෙක පැහැති තරු කැලට
ඇසුනා ද අප ගැයූ පෙම් ගීත එක්ව සිට
මුළු ලොවම නිදි වැදුණු සඳ මියෙන රුදු රෑක
වෙන් වෙලා මුළු ලොවින් ඔබ පාව ගිය ඈත
තනිව මා රුදු ලොවෙහි සදාකල් අමාවක
හිරු දෙවිඳු මහ වැරින් පායලා හිස මතින්
පුංචි පාන් බාගෙ බස් රියෙක හිර වෙලා
හමු වුණා අප දෑස පිරු පෙරුම් සපුරලා
ගිනි ගහන මද්දහනෙ වියළි සුළඟට හැරී
සිසිල් වූ අප හදෙහි පෙම් කවක් පද බැඳී
තනු සදා කොවුල් පෙළ තුරු මුදුනෙ හඬ නැගී
හිරු බසින රතු පාට පෑළ දිග ආකහේ
වෙරළ ඉම තනිවෙලා දෑස් තරු දිලී ඒ
සිප ගත්තු උණුසුමක් මෙදින වුව තව තියේ
මඳ සිසිල ගලා යන ඉල් මහෙක අටවකට
ආකහේ දිලී ගිය නෙක පැහැති තරු කැලට
ඇසුනා ද අප ගැයූ පෙම් ගීත එක්ව සිට
මුළු ලොවම නිදි වැදුණු සඳ මියෙන රුදු රෑක
වෙන් වෙලා මුළු ලොවින් ඔබ පාව ගිය ඈත
තනිව මා රුදු ලොවෙහි සදාකල් අමාවක
ඉකිබිඳුම
බොහෝ දෙන නෙත් හෙලා බලා හිඳිනා ලොවේ
හඬන්නට බැරිය මට උන් පැතුම් සුන්ව යේ
කඳුළු හංගා ඇසෙහි ඉවත බැලුමුත් රැයේ
තනිව හිඳිනා පැයෙහි ඒ කඳුළු වැල් නැගේ
බොහෝ බර දෙවුර මත වෙලා ඇත සිත ගිලන්
පැතුම් මල් පරවෙලා දුඹුරු පැහැ වී ගිහින්
අස්වැසිලි ලද සැණින් අතීතෙට පාවෙමින්
පැතුම් සුවඳෙහි අරුම විඳිමි පෑරුණු සිතින්
ගතෙහි වණ සුව වුනත් සිතෙහි වණ තව තියේ
නුඹ පහස නැති බැවින සිත් සොවින් තැවී යේ
අන් අතක නුඹ වෙළි රන් මුදුව පැළඳි යේ
වෛර නොකරමි ඉතින් තුටින් ඉන් නංගියේ
හඬන්නට බැරිය මට උන් පැතුම් සුන්ව යේ
කඳුළු හංගා ඇසෙහි ඉවත බැලුමුත් රැයේ
තනිව හිඳිනා පැයෙහි ඒ කඳුළු වැල් නැගේ
බොහෝ බර දෙවුර මත වෙලා ඇත සිත ගිලන්
පැතුම් මල් පරවෙලා දුඹුරු පැහැ වී ගිහින්
අස්වැසිලි ලද සැණින් අතීතෙට පාවෙමින්
පැතුම් සුවඳෙහි අරුම විඳිමි පෑරුණු සිතින්
ගතෙහි වණ සුව වුනත් සිතෙහි වණ තව තියේ
නුඹ පහස නැති බැවින සිත් සොවින් තැවී යේ
අන් අතක නුඹ වෙළි රන් මුදුව පැළඳි යේ
වෛර නොකරමි ඉතින් තුටින් ඉන් නංගියේ
පාළුව
හිරු නොමැත - සඳු නොමැත
සුවහසක් තරු නොමැත
තනිව ගොස් අහස් ගැබ
පාළුවෙන් පිරැවිලා
හිරු කිරණ - සඳ කිරණ
දස දහස් තරු කැකුළු
රැගෙන ඒවි ද ඒ අහස
කැල්මෙන් පුරවලා . . . .
වැසි නොමැත - ගං නොමැත
පිණි බිඳක් හෝ නොමැත
වියැළිලා පොළෝ තල
ඉරි තැලී පැලී ගොස්
වැසි පොදක් - ගං දියක්
රැගෙන ඒවි ද එබිම
නිල්ලෙන් පුරවලා . . . .
මල් නොමැත - රොන් නොමැත
හැළුණු පෙති හෝ නොමැත
පාළුවී සල් ගසම
මල් හැලී කොළ හැලී
මල් කැකුළු - රොන් රේණු
පිබිද ඒවිද ගස නැවත
සරසලා . . . .
සුවහසක් තරු නොමැත
තනිව ගොස් අහස් ගැබ
පාළුවෙන් පිරැවිලා
හිරු කිරණ - සඳ කිරණ
දස දහස් තරු කැකුළු
රැගෙන ඒවි ද ඒ අහස
කැල්මෙන් පුරවලා . . . .
වැසි නොමැත - ගං නොමැත
පිණි බිඳක් හෝ නොමැත
වියැළිලා පොළෝ තල
ඉරි තැලී පැලී ගොස්
වැසි පොදක් - ගං දියක්
රැගෙන ඒවි ද එබිම
නිල්ලෙන් පුරවලා . . . .
මල් නොමැත - රොන් නොමැත
හැළුණු පෙති හෝ නොමැත
පාළුවී සල් ගසම
මල් හැලී කොළ හැලී
මල් කැකුළු - රොන් රේණු
පිබිද ඒවිද ගස නැවත
සරසලා . . . .
වෙන්ව යාම
කඳුළු බිඳු ගලා ගොස් දෙතොල් ඉරි තැලී ගිය
සිනාවනු මිසක වෙන කුමකටද අප දෙනෙත
ගිනි වැදී දැවෙන රත් හිරු මඬල ඇතත් උඩ
අහසෙ ඉඩ බොහෝ ඇත වලාහක දෙවියනට
බිඳුණු බඳුනින් නොමැත පලක් දිය බොනු පිණිස
අප දෑත අපට ඇත හිසට සෙවණක් ලෙසද
අප දෙදෙන හමු වුනොත් ඈත දුර ඇති දිනෙක
සිනාසෙමු අප එක්ව ගෙවුනු ඒ අතීතෙට
කඳු මුදුන් පහත් බිම් පොළෝ මත පිහිටියද
ගලන ගඟ පිටාරෙන් සියළු දෑ යට නොවෙද
අප දෙදෙන හමු වුනොත් ඈත දුර ඇති දිනෙක
සිනා කැන් උතුරවමු මතක් කොට අතීතය
සිනාවනු මිසක වෙන කුමකටද අප දෙනෙත
ගිනි වැදී දැවෙන රත් හිරු මඬල ඇතත් උඩ
අහසෙ ඉඩ බොහෝ ඇත වලාහක දෙවියනට
බිඳුණු බඳුනින් නොමැත පලක් දිය බොනු පිණිස
අප දෑත අපට ඇත හිසට සෙවණක් ලෙසද
අප දෙදෙන හමු වුනොත් ඈත දුර ඇති දිනෙක
සිනාසෙමු අප එක්ව ගෙවුනු ඒ අතීතෙට
කඳු මුදුන් පහත් බිම් පොළෝ මත පිහිටියද
ගලන ගඟ පිටාරෙන් සියළු දෑ යට නොවෙද
අප දෙදෙන හමු වුනොත් ඈත දුර ඇති දිනෙක
සිනා කැන් උතුරවමු මතක් කොට අතීතය
Tuesday, March 24, 2009
සිරි පොද වැස්ස
මේ වහින්නේ එදා සිරිපොද වැස්සමයි
මැයි මල් පෙති පලසින් හැඩවුණු
නුඹයි මමයි එක් ව තෙත් වුණු
සොඳුරු සිරි පොද වැස්සමයි
මේ වහින්නේ එදා සිරිපොද වැස්සමයි
එකම කුඩයක සෙවණේ රඳනට
සිහින් සුළඟට තුරුළු කරගත්
පෙමෙහි සිරි පොද වැස්සමයි
මේ වහින්නේ එදා සිරිපොද වැස්සමයි
මැයි ගස් සෙවනේ වීදි කොනේ
විඩාබර පෙම් සිතෙහි තෙත ලන
සොඳුරු මල් වරුසාවමයි
(2008)
මැයි මල් පෙති පලසින් හැඩවුණු
නුඹයි මමයි එක් ව තෙත් වුණු
සොඳුරු සිරි පොද වැස්සමයි
මේ වහින්නේ එදා සිරිපොද වැස්සමයි
එකම කුඩයක සෙවණේ රඳනට
සිහින් සුළඟට තුරුළු කරගත්
පෙමෙහි සිරි පොද වැස්සමයි
මේ වහින්නේ එදා සිරිපොද වැස්සමයි
මැයි ගස් සෙවනේ වීදි කොනේ
විඩාබර පෙම් සිතෙහි තෙත ලන
සොඳුරු මල් වරුසාවමයි
(2008)
ප්‍රියංගිකා
සන්තාපය දුක හැමදා පණ අදිද්දි ඇඳන් මතම
වැහැරී ගිය මිනිස් සිරුරු හති දමද්දි වට පිටාවෙ
දැති රෝදෙන් නිමැවී ගිය යන්තර ලෙස උන් බලද්දි
නුඹේ සිනා මල් පොකුරකි තුන් බිය සැරිසරන බිමෙහි
ඔසු මේසය තල්ලූ කරන් ඔසු බෙදනා සැඳෑ වෙලේ
මේසය මත හිස තියාන ගිමන නිවන අතරතුරේ
තේ එකකුත් හදා ඇවිත් දොඩමළු වන රෑ ජාමේ
කතා කරන නුඹ දෑසින් කියන රහස් සිතට දැනේ
කල් ගෙවිලා අප සමු දෙන දවස ළඟයි හිත කැළැඹේ
නුඹ දෑසින් කියූ රහස් සැබෑ නොවේ කුරිරු ලොවේ
අප එක්වී දොඩමළු වූ පැසේජයේ කොරිඩෝවේ
ප්‍රියංගිකා නුඹ නැහැ අද ඒ තැන් දැක සිත ලතැවේ
(2008)
වැහැරී ගිය මිනිස් සිරුරු හති දමද්දි වට පිටාවෙ
දැති රෝදෙන් නිමැවී ගිය යන්තර ලෙස උන් බලද්දි
නුඹේ සිනා මල් පොකුරකි තුන් බිය සැරිසරන බිමෙහි
ඔසු මේසය තල්ලූ කරන් ඔසු බෙදනා සැඳෑ වෙලේ
මේසය මත හිස තියාන ගිමන නිවන අතරතුරේ
තේ එකකුත් හදා ඇවිත් දොඩමළු වන රෑ ජාමේ
කතා කරන නුඹ දෑසින් කියන රහස් සිතට දැනේ
කල් ගෙවිලා අප සමු දෙන දවස ළඟයි හිත කැළැඹේ
නුඹ දෑසින් කියූ රහස් සැබෑ නොවේ කුරිරු ලොවේ
අප එක්වී දොඩමළු වූ පැසේජයේ කොරිඩෝවේ
ප්‍රියංගිකා නුඹ නැහැ අද ඒ තැන් දැක සිත ලතැවේ
(2008)
Subscribe to:
Posts (Atom)
රාජාලිය
රාජාලිය විදිලියක් මෙන් පියඹා ආවාය. ඇය කෙලින්ම මුවා වූයේ ගල් මිනිසාගේ දැවන්ත ශරීරයටයි. රාජාලිය පසුපසින් වේගයෙන් ඇදී ආ කැට මුගුරක් ගල් මිනිසා...
-
එය ඔබට අඬගසයි - යන්න පසුපස එම මගෙහි ගොහොරු බිම් - කඳු ශිඛර පිරී ඇත ඒ මගෙහි තැනිතලා දිය කඳුරු - මල් උයන් තරමටම පියපතින් එය වසයි - යටත් වනු...
-
සටහන: මේ කෙටි කතාවෙහි ලිංගික ක්‍රියාවන් ගැන කියවෙන විස්තර සහ දෙබස් අඩංගුය. එබැවින් ඔබ අඩු වයසෙක නම්, මේ කතාවෙන් ඉවත් වීම වඩාත් සුදුසුය. ස්ත...
-
රාජාලිය විදිලියක් මෙන් පියඹා ආවාය. ඇය කෙලින්ම මුවා වූයේ ගල් මිනිසාගේ දැවන්ත ශරීරයටයි. රාජාලිය පසුපසින් වේගයෙන් ඇදී ආ කැට මුගුරක් ගල් මිනිසා...




