Pages

Tuesday, August 6, 2019

නන්නස්පොල

මේ කථාව මවිසින් දකින ලද සිහිනයක් ඇසුරින් ලියැවුණකි. මෙහි චරිත සහ සිද්ධි තනිකරම සයනාරූඪ සිහින දැහැනකදී දකින ලද ඒවා පමණකි. ජීවත්ව සිටිනා යමෙකු සමය මොනයම් හෝ සමාන කමක් ඇතොත්, ඒ අහඹුවක් ලෙසම සලකනු මැනැව. 

"ඔයාලට තේරෙන්නේ නැද්ද? උඩින් ඇවිල්ල බෝම්බ දාලා ඒ ළමයි හමුදාවෙන් මැරුවා කියල? සෙන්චෝලේ කියනෙන ඉස්කෝලයක්. අවි පුහුණු කඳවුරක්ය කියන එක මිලිටරි ප්‍රොපගැන්ඩා එකක් කියල තේරෙන්නේ නැත්ද?"

"ඉතින් ඔයා මොකද්ද කරන්න යන්නේ?"

"මගේ චිත්‍රපටියේ සම්පූර්ණ ආදායම මම ඒ ළමයින්ට දෙනවා. දැන් බලන්න, සිංහල හමුදා ප්‍රචණ්ඩත්වය නිසා ඒ ළමයින්ට දෙමාපියන් අහිමි වෙලා. ඒ අසරණ, අනාථ ළමයි බලා ගන්න එක අපේ මානවීය යුතුකමක් කියල හිතෙන්නේ
නැත්ද?"

"මරුනෙ. සුපුල්, අර ජාතික බැංකුවට කොටි ගහපු වෙලාවේ අම්මයි තාත්තයි මැරුණ ළමයි විසි ගාණකුත් ඉන්නව නේද? ඒ අයට ආධාරයක් කරන්නේ නැත්ද?"

"දකුණු සැකැස්මේ ඒ අයට උදවු කරන්න අය ඉන්නවා. උතුරු සැකැස්මේ ඒ වගේ අවස්ථාවක් නෑ. ඒ නිසා තමයි එහෙම"

"ඉතිං සුපුල් දැන් ඔය දකුණුද මොකද්ද සැකැස්මේ, අර අනාථ පවුල් විසි ගාණක ළමයින්ට තියෙන සහනය මොකද්ද?"

"මේ මගෙන් මුකුත් අහගන්නේ නැතුව යනවද? එනව මෙතන සැකැස්ම ගැන අහන්න"

සුපුල් නන්නස්පොල තමන් සමග වැඩ කරන ලිපිකරුට කඩාගෙන පැන්නේය. විවිධ ආදායම් මාර්ග වලින් ධනවතෙකු වූ සුපුල්ට බැංකුවේ රස්සාව කාලය කා දැමීමට පමණක් ඇති එකක් විය. සුපුල් ගේ දෙවන සිනමා නිර්මාණය එළි දැක තිබූ අතර, ඉන් ජනිත වන මුදල සෙන්චෝලේ අනාථ නිවාසයට බැර කිරීම ඔහුගේ අරමුණ වී තිබිණ.

"සුපුල් මහත්තයා, හෙට බණයි, දානෙයි. මහත්තයා එනවද?" කාර්යාලයට පැමිණ නවක පියුම් කොලුවා කපිල සුපුල්ගෙන් ඇසීය.

"මේ කපිල, ආගම කියන්නේ අබිං කියල මාක්ස් කියල තියෙනවනේ. මම ඔය කොහොමත් සිංහල බෞද්ධ හෙජමොණිය, පරපීඩක විදියට සමාජය මතට තල්ලු කරන වැඩ වලට කැමති නෑ. අනික ඔය කහකඩ තට්ටයෝ කියන නින්ද යන මන්තර කාටද අහන් ඉන්න පුළුවන්. ජිජැකියානු අවකාශය ඇතුලේ ඔය පරපීඩක උන්මාදය, සමාජ විපර්යාස වලින් විනිර්මුක්ත වෙලා, අපේ උප විඥ්ඥාණය තුලට ඇතුලු වෙනවා. එතකොට . . . "

"හා මහත්තයා, මම යන්නම්, බොස් කතා කරනවා". තක්බීර් වූ කපිල ලිස්සා යයි.

"හරකා, පස්චාත් නූතනවාදි සුළු ධනේශ්වරයේ කටු ලෙව කන එක විතරයි මූ දන්නේ"

බණට නොසිටියත්, දානයට වැඩම කල සුපුල් යහමින් සප්පයම් වෙමින් සිටියේය. කහබත්, බටු මෝජු, පරිප්පු, අල බැදුම්, ගොටුකොළ මැල්ලුම් සහ පපඩම් ඉතාම රසවත් විය. "මේකට හරක් මස් කරියක් තිබුණ නම් ගින්දර, නැද්ද සමදරා?" සමදරා මුවින් නොබැන සිටියාය.

"කහකඩ තට්ටයෝ පොඩි ළමේකුත් මහණ කරන්, දැක්කද?" සුපුල් නැවත ඇසීය. "මහ එකා පුක පලනව ඇති. ඔය ළමයි මහණ කරන තට්ටයන්ගේ තාර ගාන්ඩ ඕනෑ".

"හම්මේ සුපුල්, කෝමද සහෝ?" දානයට වැඩම කරමින් සිටි තිස්ස දෙහෙරගොඩ සුපුල් දැකීමෙන් අමන්දානන්දයට පත් විනි. තිස්ස අදාල බැංකුවේ නීතිඥවරයා වන අතර, සුපුල් ගේ ගජ මිතුරා මෙන්ම, පුද්ගලික නීතිඥයාද වේ.

"දෙහෙරෙ, බලපං බං කහකඩයෝ
බණ දෙසන්න පොඩි එකෙකුත් අරන් ආවනේ. උඹල හරි නම් මේවට නීති ගේන්ඩ ඕන."

"කොහේ නීති ගේන්නද බං, පොඩ්ඩ එහෙ මෙහෙ වෙච්ච ගමන් නානලා අපිව කනවා. ඕවා මේ ආත්මේ වෙන වැඩ නෙවෙයි"

සුපුල්ගේ සිත අතීතයට දිව යයි. වසර හතරකට පෙර මෙබඳුම ප්‍රිය සම්භාෂණයකදී ඔහුට තිස්ස මුණ ගැසුණි. මාස කීපයක් ඇතුළතම මිත්‍රයන් මෙන්ම, සේවාලාභියකු වීමේ වරමද සුපුල්ට හිමි විය. ඒ ජනිතා හපුආරච්චි සිද්ධිය නිසාවෙනි.

"ෂික් බං, කවුද දන්නේ අර ජනිතා ගෑනිගේ ළමයා ඔච්චර අමාරුකාරියක් කියල. ඌ තාම ඇටෙන් පොත්තෙන් ඇවිල්ලත් නෑ, මට සිතාසි එවලා" සුපුල් තිස්ස වෙත පමිණියේ අවනඩුවක් සමගයි.

තිස්ස දෙහෙරගොඩ මේ සිද්ධිය හොඳින්ම මතකය. සුපුල් සතු දැවැන්ත මුද්‍රණාලය සහ ප්‍රකාශන සමාගම වෙත ජනිතා හපුආරච්චි පැමිනෙන්නේ ඇගේ නව කථා පොත් දෙකක් සමගය. ඇගෙන් පිටපත් දෙදහසකට අත්පිට මුදල් ලබා ගත් සුපුල් පිටපත් තුන්දහසක් මුද්‍රණය කර, ජනිතා අතට ලබා දීමටත් පෙර, අමතර පොත් දහස විකුණා ගත්තේය. අවසානයේ පොත් විකුණා ගත නොහුණු ජනිතා, ණය බරින් මිරීකී, රෝගී වී මිය ගියේ වසර හයකට පමණ පෙරය. ඇගේ පුත්‍රයා කටු අත්තක් මෙන් සුපුල් සමග පැටලි, පැටලී එයි.

"මචං සුපුල්, නඩු ගියොත් නම් මේක ලොවෙත් නෑ, ලොවි ගහෙත් නෑ. මේක ෂේප් කරගන්න වෙනවා. කොහොමත් උඹේ ෆිල්ම් වලින් ජජ්ලට ගැහුවට පස්සේ උනුත් ඉන්නේ උඹට අරින්න බලාන. පොඩ්ඩක් හිටපන්, අපි මේක දියවන්නාවෙන් ශේප් කරමු."

දියවන්නාව සුපුල් දැන සිටි අතර, එහි වාසය කර මහා තෙද බලති උත්තමයාණන් කෙනෙක් අතින් විවෘත වූ ජනිතා හපුආරච්චි පිළිරුව විවෘත කිරීමෙන් පසුව, ඇගේ පුත්‍රයා විසින් නඩුව ඉල්ලා අස් කර ගන්නා ලදී. දියවන්නාවේ තෙද බලැති උතුමන් ගෙ උදහසට ලක්වීම යහපත් නොවෙතැයි ඒ තරුණයා සිතන්නට ඇත.

"සුපුල් මහත්තයා . . . අර ළමා දිනය මාස දෙකකින් තියෙනවනේ. ඒකට අපි නාට්‍යයක් පෙන්නන්න යනවා ළමයින්ට. අපට බැක්ග්‍රවුන්ඩ් හදන්න තරම් නම් සල්ලි නෑ. මහත්තයා ගාව පරණ සෙටින් එකක් එහෙම තියෙනවද? අපිට පාට ටිකක් ගාලා අළුත් කරල ගන්න" විජේසිරි රියදුරු තැන, රියදුරුට අමතරව වෙදිකා නළුවෙකුද වෙයි. නාට්‍ය කීපයකම සුළු චරිත ඔහු රඟපා ඇතත්, ඔහු දක්ෂ පසුතල නිර්මාණයටය.

"ගෙදර එනවකෝ විජේසිරි වෙලාවක. ඒ කාලේ කරපු නාට්‍ය වල සෙටින් තාම ඇති. බලල තෝරන් යනව." සුපුල්ගෙන් ධනාත්මක පිළිතුරක් ලබන අතළොස්සෙන් ඔහුත් කෙනෙකි.

පසුදාම විජෙසිරි සුපුල් ගේ නිවස වෙත ගියේය. දැවන්ත තාප්පයකින් වට කල සුවිසල් නිවසේ සීනුව කීපවරක් එබීමෙන් පසුව, අවුරුදු දොළහක පමණ දැරියක් ගේට්ටුවේ කුඩා කවුළුවක් විවෘත කළාය.

"මාත්තියා ගෙදර නේ. පෂ්ෂේ එන්ඩ . . ."

1 comment: