බට්ටිච්චෝ නුඹ දැක්කම මතක් වෙනවා පෙර කාලය
ඔය වාගෙම මට හිටියා පෙම්වතියක් කල ආලය
වාගෙයි ඈ ඇසළ මලක් හැඩ කරනා මැද සාලය
පළඳන්නට මං හිටියා මතු දවසක පෙම් මාලය
හයහමාරෙ බයිස්කෝප් එක බලලා සිනා වෙලා
සයිවර් කඩයකට ගිහින් තෝසෙ එකක් රස විඳලා
කඩල ගොට්ටකුත් අරගෙන මහ පාරේ තුරුළු වෙලා
ගෙදර එන්න සිහින මැව්ව නුඹ වාගේ කූඩු වෙලා
පුර හඳ පායලා දිලෙන පෝය දිනෙක බෝමළුවේ
පොල්තෙල් පහනක් දල්වා එක්ව ඉන්න සුපැතූවේ
සඳ පහනේ ජයට පිපෙන කුමුදු කැකුළු මල් ගොමුවේ
සුවඳ උරා සැනසෙන්නයි එදා දවස අප සිතුවේ
ඉසිබු නැතිව දිවෙන දිවි ගමනේ, මඳක් මනස සතපා ගන්නට, වයර් යාය මැද කොටුවූ සයිබර් ජාලගත හරසුන් අඩවි වලින් මිදී කව් වැලෙක සිත සතපන්නට, ගොඩ වැදී යන්න ඔබත් මෙහි.
Tuesday, December 22, 2015
Saturday, April 18, 2015
දුයිෂෙන් එන්නේ නෑ
ඉර හඳ හමුවුණ - පොප්ලර් පාමුල
දහසක් නෙතු වලට හොරා
දෑසින් බැඳි කව් පද
සීත සුළඟේ පාවෙලා
ගල් වෙලා හිම වගේ
චණ්ඩ මාරුතයට අසු වෙලා
විසිවෙලා කඳුළු ඉම දිහා
අල්තීනායි මතකයි මට
බලන් හිටියා නුඹ මේ පොප්ලර් පාමුළ
ඈත අතීතයක් වාගේ දැනෙන
ලඟම ලඟ දවසක
බිඳුණු හිත් ඇති දුයිෂෙන්
වැලපිලා කාලයක්
කඳුළු අහවර කරන්
තැපල් මල්ල අත දරා
වියළි හදකින් මං මුළා වෙලා
හිත් බිඳුණු දුයිෂෙන්
ආයේ එන්නේ නෑ අල්තීනායි
පොප්ලර් පාමුළ - ගිණි හීතලේ
නෙතින් නෙත හමුවෙන්න
දුයිෂෙන් එන්නේ නෑ ආයෙත් . . .
Tuesday, April 14, 2015
අප නොම හමු වේවා
ලොවට හොරා රැකි ඒ පෙම් සටහන්
කඳුළු බිදක් තුළ සිර කර ලන්නට
හිරු මියෙනා මේ අඳුරු සැඳෑවේ
අප නොම හමු වේවා
විදුලි මිණි පහන් සමහල් පහයන්
පුරවර දන පිරි පටු මං අතරේ
අතිනත ගෙන තුරුළුව ගිය සටහන්
කළු දුම් රොටුවෙන් වැසී ගියාවේ
හිරු හිනැහෙන නව සොඳුරු උදැහැනක
අප නොම හමු වේවා
දෙතොල ලංව බිවු රස මදිරාවන්
සුවඳ සුඟක් ඇත සිහින පොදක් ලෙස
තුරුළුව වැලඳූ ඒ පෙම් සුවයන්
කාලයේ වැල්ලෙන් වැසී ගියාවේ
නව මල් පිබිදෙන අරුණලු අතරේ
අප නොම හමු වේවා
කඳුළු බිදක් තුළ සිර කර ලන්නට
හිරු මියෙනා මේ අඳුරු සැඳෑවේ
අප නොම හමු වේවා
විදුලි මිණි පහන් සමහල් පහයන්
පුරවර දන පිරි පටු මං අතරේ
අතිනත ගෙන තුරුළුව ගිය සටහන්
කළු දුම් රොටුවෙන් වැසී ගියාවේ
හිරු හිනැහෙන නව සොඳුරු උදැහැනක
අප නොම හමු වේවා
දෙතොල ලංව බිවු රස මදිරාවන්
සුවඳ සුඟක් ඇත සිහින පොදක් ලෙස
තුරුළුව වැලඳූ ඒ පෙම් සුවයන්
කාලයේ වැල්ලෙන් වැසී ගියාවේ
නව මල් පිබිදෙන අරුණලු අතරේ
අප නොම හමු වේවා
Wednesday, April 8, 2015
සමුගන්න අවසරයි
සැඳෑ හිරු මිය ගිහින් - වළා පෙළ දම් පැහැයි
මඟහැරුණු හිතවතිය - ජීවිතය ඉම ලඟයි
කිරි සිහින රජවෙනා - සිරිමතිය හිනැහෙනා
ජීවිතය විඳගන්න - අවසර ද පිටවෙන්න?
සෙනේදම් බිඳී ගිය - යුගයකට සමුදෙන්න
ජීවිතේ කටුක දුර - එක්ව ඇවිදන් යන්න
හිතවතිය අතවනයි - ජීවිතය ඉමේ සිට
සඳවතිය හැරදමා - අවසර ද පිටවෙන්න?
අතරමං ජීවිතේ - මඟහසර අහගන්න
මඟ ඇසූ සමණළිය - අතැර ඉවතට යන්න
වල් නොවැද මං පෙතේ - ආදරෙන් ඇවිදින්න
හිතවතිය අතවනයි - අවසර ද පිටවන්න?
Thursday, October 18, 2012
අතරමං වූ කවිය
කවක් ඇත හදවත කොණක
පිට වනු නොහැකිව
හදවතේ ගැඹුරුම තැනක
තිබුණු එළියෙන් මග සොයා
පිටවන්නට හැදුව
නිවී ගොස් ඒ එළිය
ගණඳුරුයි හදවතම
අතරමං වෙලා ඇත
ඒ කවිය හද කොණක
මග සොයනු වෙර දරයි
මහ වැරින් තඩි බායි
උරෝස්ථියෙන් කපාලයට
උඩ පනිමින්
ඉතින් සොඳුර,
ගෙන සැතක් විගහින්
එළියට ගනින් ඒ කවිය
මා සමග මිය යන්ට පළමුව
දැඩි වේවි ඒ කවිය
නුඹ ළඟම හැමදාම
හදවතේ සිරව ගිය
කවට මව් නුඹ බැවින
Friday, October 12, 2012
සුහදිනිය
හැම රක්ෂාවකම පුහුණු වීම් සමය ඉතාම දුෂ්කර වෙයි. නිතරම ජ්‍යෙෂ්ඨයන් ගේ තාඩන පීඩන වලට ලක් වෙමින්, කිසිදු අගය කිරීමකින් තොරව පැය 24 පුරාම වැඩ කළ සමයක් ද විය. වෛද්‍ය වෘත්තිය ද මින් නිදහස් නොවන්නකි. අපමණ දුක් කම්කටොළු විඳ, කුසට අහර පවා වේලාවට නොලබා ගත කල කාලය කා වෙනු වෙන් යෙදවූවාදැයි අපි නොදනිමු. සතුරු සෙන් බල මුළු ගැණුනු ලොවක කණිෂ්ඨ වෛද්‍යවරු ලෙස අප විඳි දුක් ගැහැට, සතුට, කඳුල මා හා බෙදා ගත්තේ නුඹයි. මිතුරියක් ලෙස සදා කල් නුඹ මා හදේ රැඳී සිටින්නේ ඒ නිසායි.
සුදු ඇඳුමින් සරසා ගෙන යන එන දහසක් අතරෙහි
ගිලනුන් ගේ ගිලන් ගතට සුවයක් සදනට වෙහෙසුණ
ජීවක වෙස් ගෙන දවසම නොනිඳා රැය පහන් කරන්
අපිට අපි ම පමණක් සිටි කටුක යුගය මතක් වෙලා
හීන් දුකක් හද කොණකින් පිටට පැමිණුනා
දුකයි සැපයි යස අයසයි සමව බෙදා ගෙන වැඩකල
හිත් පතුලේ ගැඹුරුම තැන තිබුණු සියලූ දේම පවා
දැන ගෙන අප අපෙ ජීවිත දෙසම මහත් සොවින් බලා
ඒ හැම දෙය සිනාවකට පෙරළා දුක අවසන් කල
කාලය හීනයක් වගේ හිතට දැනෙනවා
(2006)
Thursday, December 8, 2011
කවියාගේ suicide notes
ස්වාමීනි,
තනිව ආවෙමි
තනිව සිටියෙමි
විය සිදුරෙන් දකින
කණ කැස්බෑ අහස
අතැර යන්නෙමි
මහ සයුර වෙත
පැමිණි විලසම . . .
පිදූ මුත් පෙම පරම පිවිතුරු
සඳ එළිය සේ
පසන් හැඟුමෙන
රුවා පස තුළ එයින් බිජුවට
සැදී මහ ගසක්
මල් පල ද දරා ගෙන
සිඳ දමා එහි සිරස
අඹරවා තෙදැති කඳ
උදුරුවා මුදුන් මුල
බිම දැමී වනස්පතිය . . .
ගණඳුර කෑලි කපන
ඉතින් මේ අවසන් හෝරාවයි
දොරටුව අබියස
පැමිණ ඉන්නෙමි
මළ හෙයින් ආත්මයෙන්
බියක් නොදැනේ කිසි විට
අවසරයි ස්වාමීනි
මහෞෂධ වන් නැණැති
අසඩක් වන් තෙදැති
අසන්නට නිමිති නැති
නඩුවක් රැගෙන ආවෙමි
දෙන්නට දඬුවම් නොහැකි
මළ ආත්මය රැගෙන
ඉතින් අතැර යම් කණ කැස්බෑ අහස
විය සිදුරෙන් දකින . . .
(1998)
Subscribe to:
Posts (Atom)
රාජාලිය
රාජාලිය විදිලියක් මෙන් පියඹා ආවාය. ඇය කෙලින්ම මුවා වූයේ ගල් මිනිසාගේ දැවන්ත ශරීරයටයි. රාජාලිය පසුපසින් වේගයෙන් ඇදී ආ කැට මුගුරක් ගල් මිනිසා...
-
එය ඔබට අඬගසයි - යන්න පසුපස එම මගෙහි ගොහොරු බිම් - කඳු ශිඛර පිරී ඇත ඒ මගෙහි තැනිතලා දිය කඳුරු - මල් උයන් තරමටම පියපතින් එය වසයි - යටත් වනු...
-
සටහන: මේ කෙටි කතාවෙහි ලිංගික ක්‍රියාවන් ගැන කියවෙන විස්තර සහ දෙබස් අඩංගුය. එබැවින් ඔබ අඩු වයසෙක නම්, මේ කතාවෙන් ඉවත් වීම වඩාත් සුදුසුය. ස්ත...
-
රාජාලිය විදිලියක් මෙන් පියඹා ආවාය. ඇය කෙලින්ම මුවා වූයේ ගල් මිනිසාගේ දැවන්ත ශරීරයටයි. රාජාලිය පසුපසින් වේගයෙන් ඇදී ආ කැට මුගුරක් ගල් මිනිසා...



